විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීට  ‘මරණීය තර්ජන’ | VIDEO

 

mujiber rahuman

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුලදී මරණීය තර්ජන කළ බව ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු කතානායකවරයාට පැමිණිලි කොට තිබේ.

ඝාතනයට ලක්වූ රගර් ශුර වසීම් තාජුදීන් සම්බන්ධයෙන් කතා කළහොත් ‘මරා දමන’ බවට  ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත පෙරේරා සහ ඉන්දික අනුරුද්ධ හේරත් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී දෙසැම්බර් 11 දා තමන්ට තර්ජනය කළ බවට පැමිණිලි කර ඇත්තේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාය.

වසීම් තාජුදීන් ඝාතනය කළ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ ඉන්නා බවට රහුමාන් මන්ත්‍රීවරයා අයවැය කාරක සභා විවාදයට සහභාගී වෙමින් චෝදනා කිරීමෙන් අනතුරුව ඝෝෂාකාරී ලෙසින් සභාව හරහා පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන් ‘එළියේදී මරණ’ බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

 

සැලසුම් සහගත ඝාතන  

රගර් ශුරයාගේ ඝාතනය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා විසින් හඳුන්වනු ලැබුවේ ‘සැලසුම් සහගත ඝාතනයක්’ ලෙසිනි.

“තාජුදීන්ව මරලා කාර් එකේ දාලා විනාශ කරපු උදවිය අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරනවා සිස්ටමැටික් ක්‍රයිම් ගැන,” යයි රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමගම සභාවේ උණුසුම් තත්වයක් ඇතිවනු දැකගත හැකි විය.

රහුමාන් මන්ත්‍රීවරයාට පෙර සභාව ඇමතූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව විවේචනය කරමින් ශ්‍රී ලංකාවේ යුද හමුදාව විසින් ‘සිස්ටමැටික් ක්‍රයිම්’ (සැලසුම් සහගත අපරාධ) කරන ලද බවට එක්සත් ජාතීන් විසින් චෝදනා කර තිබීම දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

‘සිස්ටමැටික් ක්‍රයිම්’ යන්න හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් හඳුන්වන ලද්දේ ‘ක්‍රමික අපරාධ’ ලෙසිනි.

ලසන්ත සහ රවිරාජ්

සභාවේ හටගත් කලහකාරී තත්වය හේතුවෙන් මුලාසනයේ සිටි එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීවරයා විසින් සභාව කල් තැබීමෙන් අනතුරුව රැස්වූ පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ තාජුදීන් ඝාතනය මෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය ද සැලසුම් සහගත අපරාධ බවයි.

කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි දිනය වන අද දින විවාදයට ගැනුනේ විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂයි.

Related posts

Comments are closed.

Top