යුද හමුදාව කළ අපරාධ හොයන්න ‘මේ රජයටත් ඕනෑ කමක් නෑ’

stage

උන්හිටි තැන් අහිමිව නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රැඳි සිටියදී විසිපස් වසරකට ඉහතදී  ශ්‍රි ලංකා රජයේ හමුදා විසින් එකසිය පනහකට වැඩි පිරිසක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳව පරික්ෂණයක් පැවැත්විමට නව ආණ්ඩුවටද කිසිදු උවමනාවන්  නැතැයි අගමැතිවරයා හමුවේ මානව හිමිකම් ක්‍රියාකාරිහු චෝදනා කළහ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා නිදහසේ  වේදිකාව සහ සිවිල් සංවිධානවල එකතුවෙන්  අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සමරු ශාලාවේ පැවති වැඩසටහනක දී අතුරුදහන්වුවන් පිළිබඳ දෙමාපිය එකතුවේ කැඳවුම්කාර  බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ 1990 නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරීම සඳහා වගකිව යුතු හමුදා නිලධාරීන් කවුදැයි ‘පැහැදිලි සාක්ෂි’ තිබුනත් ඒ  සම්බන්ධයෙන් නිසි පරික්ෂණ සිදුකිරිමට නව ආණ්ඩුවද අසමත්ව සිටින බවයි.

හමුදාවට භාරවූ අය

යුද්ධාවසානයේ හමුදාවට භාරවූ දෙමළ වැසියන් ට සිදුවූයේ කුමක්ද යන්නත් රජය විසින් හෙළි කොට නැති බව ඔහු පැවසීය.

”බලයට ඇවිත් වසරක් ගෙවි යමින් තිබෙනවා. නමුත් තවමත් නොහැකිවී තිබෙනවා  හමුදාව නිල වශයෙන් එදා භාරගත්ත මිනිසුන්ගේ නම් ලැයිස්තු ඉදිරිපත් කරන්න. මම අවධාරණයෙන් කියනවා, 1990 නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රැඳි සිටිය අවතැන්වුවන් 164 දෙනෙක්ව හමුදාවෙන් ඇවිත් පැහැරගෙන ගිහින් මරලා දැම්මා.ඒ ගැන ඉතාම පැහැදිලි සාක්ෂි තියෙනවා.ඒ අපරාධයට සම්බන්ධ සියළුම හමුදා නිළධාරින්ගේ නම් තියෙනවා. මේ ආණ්ඩුවේ වගකීමක් ජනාධිපති විමර්ශන කොමිසමක පවා නම් සඳහන් වෙලා තියෙන ඒ හමුදා නිළධාරින් පිළිබඳව සොයලා බලන එක.”

වන්දාරමූලෙයි සමුහ ඝාතනය

මඩකලපුව, වන්දාරමුලෙයි  නැගෙනහිර විශ්ව විද්‍යාලයේ රැඳී සිටි උන් හිටි තැන් අහිමිවූ  පිරිසක් කොම්මාතුරෙයි හමුදා කඳවුරින් පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ පාලනයක් පැවති 1990 සැප්තැම්බර් මස 5 වැනි දිනය.

විශ්ව විද්‍යාලීය පරිපාලන සාමාජිකයන් මෙන්ම අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ද විසින් ජනාධිපති කොමිසමකට දෙන ලද සාක්ෂි අනුව එදින පෙරවරු 9 ට පමණ පැමිණි හමුදාව විසින් සියළු රැඳවියන් පෙළගස්සවා එයින් තෝරාගත් පිරිසක් බස් රථ දෙකක නග්ගවාගෙන පිටතට රැගෙන ගොස් තිබේ.

ඊට අමතරව මඩකලපුවේ සත්තුරුකොන්ඩාන්, පනිච්චෙයියාඩි, කොකුවිල් සහ පිල්ලෙයියාරඩි ගම්වලට කඩා වැදුණු යුද හමුදාව තවත් ගම්වාසීන් පැහැරගෙන ගොස් තිබේ.

මේ කිසිවකුත් ආපසු පැමිණ නැත.

කැප්ටන් මුනාස් සහ කපිතාන් රිචඩ් ඩයස්

රැඳවියන් එසේ රැගෙන යාමට පැමිණ ඇත්තේ කැප්ටන් මුනාස් නමින් හඳුන්වනු ලැබු හමුදා නිළධාරියකුඇතුළු පිරිසක් විසිනි. කැප්ටන් මුනාස්  යනුවෙන්  හැඳින්වෙන්නේ කපිතාන් රිචඩ් ඩයස් යැයි මඩකලපු පුරවැසි කමිටුවේ හැරී මිලර් පියතුමා 1993 දී ‘හිරු’ පුවත් පතට පවසා තිබුණි.

කෙසේ නමුත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පළමු පාලන සමයේදි ඇය විසින් පත්කරනු ලැබු ‘පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් පිළිබඳ පරික්ෂණ කොමිසම්’ ත්‍රිත්වයෙන්  එකක් වන උතුරු නැගෙනහිර කොමිසම විසින් වන්දාරමුලෙයි සමුහ ඝාතනය පිළිබඳව තොරතුරු වාර්තා කොට තිබේ.

ක්‍රිෂ්ණ පිල්ලෙයි පාලකිඩ්නර් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් ප්‍රධානත්වය දැරූ එම කොමිසමේ අවසන් වාර්තාවෙහි මෙම සිදුවිමෙන් අතුරුදහන්වුණු පුද්ලයන්ගේ නම් මෙන්ම එයට වගකිව යුතු හමුදා නිළධාරින් ලෙසින් කැප්ටන් මුනාස්, කැප්ටන් පාලිත හා  කැප්ටන් ගුණරත්නගේ නම් සඳහන් කොට තිබේ.

මේජර් මජීඩ් සහ මේජර් මොහාන් යන අතුරු සන්නද්ධ කල්ලි නායකයන් දෙදෙනකුද එම පැහැර ගැනීමට හවුල් වී තිබෙන බවට සාක්ෂි කොමිසම විසින් සටහන් කරගෙන තිබේ.

හිටපු හමුදාපති

සාක්ෂි කරුවන් විසින් කොමිසමට කියා ඇති පරිදි, සැප්තැම්බර් 8දා කඳවුරට පැමිණි එවක හමුදාපති ජෙරී ද සිල්වා දැනුම් දී ඇත්තේ රැගෙන ගිය සැම දෙනාම වරදකරුවන් ලෙසින් ඔප්පු වී තිබෙන බවය.

ඒ ‘වරදකරුවන්’ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර කවරේදැයි හිටපු හමුදාපතිවරයා කියා නැත.

කෙසේ වෙතත්,  පුද්ගල පැහැරගෙනයාම් සහ ඝාතන සම්බන්ධයෙන් අදාළ කොමිසම් විසින් හඳුනාගනු ලැබු කිසිදු හමුදා හෝ ආරක්ෂක අංශ, පොලිස් සමාජිකයකුට එරෙහිව වැඩිදුර නීති විමර්ශන සිදුනොකරන ලෙසට ඉහළම දේශපාලන බලාධිකාරිත්වය විසින් නියෝග කරනු ලැබුවේ යැයි අදාළ කොමිසම්වල ලේකම්වරයකු ලෙස කටයුතු කළ එම්.සී.එම් ඉක්බාල්  පසු කලෙක  කියා සිටියේය.

Related posts

Comments are closed.

Top