අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනතා අදහස් ලබාගැනීමට කමිටුවක්

Lal Wijenayake

සේයා: ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර | රාවය

ශ්‍රී ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා රටේ මහජනතාව ඉදිරිපත් කරන අදහස් විමසා මාස තුනකදී රජයට ඉදිරිපත් කිරීම ඒ සඳහා අගමැතිවරයා විසින් පත් කර ඇති කමිටුවේ අපේක්ෂාව වී තිබේ.

දේශපාලන පක්‍ෂ නියෝජිතයින් හා සිවිල් සමාජ නියෝජිතයින් විසි හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්  බව රජය විසින් දෙසැම්බර් 28 සඳුදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා රජය විසින් පත් කොට ඇති කමිටුවේ නායකත්වය උසුලන ව්‍යවස්ථා විශාරද ලාල් විජේනායක ගගන හා ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවක් සාර්ථක වීමට නම් එය නීතියෙන් සම්මත විම පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

“ ව්‍යවස්ථාවකට සුජාත භාවයක් තිබිය යුතුයි. එය රැකෙන්නේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීමෙන්,” යයි කී අධිනීතිඥ විජේනායක ඒ සඳහා දිවයින පුරා සිටින විවිධ ප්‍රජා කණ්ඩායම් වලට අයත්  ජනතාවගේ දායකත්වයත් ජනමාධ්‍ය මගින්  අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.

අතීත ව්‍යවස්ථා

මීට ඉහතදී 1972 දී සහ 1978 දී ව්‍යවස්ථා නීති ගත කෙරුණත් ඒවා ජනතා අදහස් විමසීමකින් සම්මත කර ගන්නා ලද බව ඔහු පෙන්වා දුන්නේය.

“ජනතාවට එහෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ආවාම ඒක පිට දෙයක්. ජනතාව අතර කිසියම් සාකච්ඡාවක් නොවුණු දෙයක්.”

එම වරද නැවත සිදු නොවීම සඳහා ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු විවිධ විෂය අලලා ජනතාව ගෙන් කරුණු විමසීම කමිටුවේ අපේක්ෂාවයි.

ලිඛිත සහ වාචික නියෝජන ඇසුරින් කමිටුව විසින් සකස් කරන වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කැබිනට් අනු කමිටුවට ඉදිරිපත් කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ලබන වසරේ මැද භාගය වන විට අලුත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව බව නීතිඥ  ලාල් විජේනායක පවසයි.

එය සම්මත කර ගත යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් හා ජනමත විචාරණයකිනි.

කමිටු සාමාජිකත්වය 

ඊට පෙර ජනතා මතය පිලිබඳ අවබෝධයක් රජය සතුව තිබිය යුතු බව  ඔහු ප්‍රකාශ කළේය.

“ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඉස්සර වෙලා ජනතාවට අවශ්‍ය මොනවාද කියලා ආණ්ඩුවත් දැන ගන්න ඕනේ.”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කොට ඇති  දේශපාලන පක්‍ෂ හා සිවිල් සමාජ නියෝජිතයන් විසි හතර දෙනකුගෙන් සමන්විත කමිටුවේ අනිකුත් සාමාජික සාමාජිකාවන් වන්නේ ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා, මහාචාර්ය ගාමිණි සමරනායක, මහාචාර්ය ඒ.එම් නවරත්න බණ්ඩාර, මහාචාර්ය එම්.එල්.ඒ කාදර්, එන්. සෙල්වක්කුමාරන්, ගරු එස්. තවරාජා, ජනාධිපති නීතීඥ කුෂාන් ද අල්විස්, ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, නීතීඥ සුනිල් ජයරත්න, ආචාර්ය උපුල් අබේරත්න, තේමිය හුරුල්ලේ, වින්ස්ටන් පතිරාජ, ආචාර්ය එස්. විජේසන්දිරන්, නීතීඥ එම්.වයි.එම්. ෆයිස්, නදීකා දමයන්ති, නීතීඥ කාන්ති රණසිංහ, එස්.සී.සී ඉලන්කෝවන් සහ සිරිමසිරි හපුආරච්චි ය.

 

Related posts

Comments are closed.

Top