‘ප්‍රකට පුද්ගලයන් මරාදැමීමට අණ දුන් අය දන්නවා’ වික්‍රමබාහු | VIDEO

NSSP Anniversary

සේයා : ජෙනගන් පහලොන්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආණ්ඩු විරෝධීන් කිහිපදෙනකුම ඝාතනය කිරීමට පසුගිය පාලන සමයේ අණ දුන්නේ කවුරුන්ද යන්න තමන් දන්නා බව නව සම සමාජ පක්ෂ නායකයා පවසයි.

එම ඝාතන සඳහා අණ දුන්නේ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ බවට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න චෝදනා කර  සිටියේ 30 බදාදා  කොළඹ නව නගර ශාලාවේ පැවති නව සම සමාජ පක්ෂයේ 38 වැනි සංවත්සර දෙසුම පවත්වමිනි.

එම අපරාධ සම්බන්ධයෙන් පරික්ෂණ නිසි ලෙස පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කර  සිටි නව සම සමාජ නසසප  නායකයා ආණ්ඩුව එසේ කිරිමට අපොහොසත් වන්නේ නම් එයට විරෝධය දැක්වීම සදහා පාරට බැස අනිවාර්යයෙන්ම සටන් කරන බව අවධාරණය කර සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සමාජවාදය හෝ සමාජ පෙරලියක් බලාපොරොත්තු නොවු බව පවසන ආචාර්ය වරයා සදහන් කරන්නේ නව රජයෙන් නව සම සමාජ පක්ෂය බලාපොරොත්තු වුයේ නීතිය හා සාධාරණත්වය ඇති කිරිම පමණක් බවයි.

නව සම සමාජ පක්ෂය විප්ලවවාදී පක්ෂයක් ලෙස ආරම්භ කරනු ලැබුවේ පාර්ලිමේන්තු මැතිවරණ සදහා තරග කිරිම සදහා හෝ ඉන් බලය ලබා ගැනිම සඳහා නොවන බවත් ‘ජනතාවගේ අරගලය තුළ, සටන තුළ ජනතාවගේ පිබිදීම තුළ පවතින රාමුව කඩාගෙන ගොස් ඇතිවන විප්ලවකාරි ආණ්ඩුවකට සහභාගි වීමට’ බවයි ඔහු පවසා සිටියේ.

ස්වයං තීරණ අයිතිය

ඒ සදහා තවම තත්වයක් උදා වී නොමැති මුත් ජනතා අයිතිවාසිකම් රාශියක් දිනා දිම සදහා නව සම සමාජ පක්ෂයට පසුගිය කාලය තුල හැකියාව ලැබුන බව පෙන්වා දෙන ආචාර්ය වික්‍රමබාහු  අවධාරණය කර සිටියේ දෙමළ ජනතාවට ස්වයං තීරණය, ස්ව පාලනය හා සමානාත්මතාවය පිළිබද අයිතියක් ඇති බව පළමුව ප්‍රකාශ කර ඒ සම්බන්ධයෙන් ජනතාව අතර උද්ඝෝෂණයක් රැගෙන ගියේ තම පක්ෂය බවයි.

අද වන විට දෙමළ ජනයාට එම අයිතීන් ලබා දීම යුක්ති සහගත බව  ධනේශ්වර ආණ්ඩු පවා පිළිගෙන තිබෙන  බව සදහන් කරන ඔහු කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතින් වෙනුවෙන් කතා කිරීම නිසා තමන්ට වෙඩි පහරට පවා ලක් වීමට සිදු වු බවයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම නිසා නසසපයේ 28 දෙනකු ජිවිත පුජා කළ බවත් විශාල පිරිසක් තුවාල වීම් වලට ලක් වු බවත්  ඔහු සිහිපත් කළේය.

වතු කම්කරු වැටුප්

මේ වන විට වතු කම්කරුවන්  තමන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් කරගැනීම වෙනුවෙන් සටන් කරන බවත් එම මුදල් ඉතාම අවම වැටුපක් පවත් පවසන ඔහු අවධාරණය කරන්නේ එම වැටුපවත් ලබා ගැනිමට වඔවුන්ට නොහැකි නම් එය ආර්ථික සමාජ අරගලයක ප්‍රශ්නයක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව අරගලයක් බවට පත්ව තිබෙන බවයි.

මෙම අවස්ථාව සදහා ආගමික නායකයන්, දේශපාලන ක්‍රියාකාරින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ද එක්ව සිටියහ.

නසසපය වෙනුවෙන් ජිවිත පුජා කළ අය වෙනුවෙන් සංවත්සර සභාව ආරම්භයේදි පුෂ්පෝපහාරයක් ද දැක්වුනු අතර පක්ෂය වෙනුවෙන් කළ දීර්ඝකාලීන කැපකිරීම අගයමින්  ආචාර්ය සරණපාල සිල්වා, එම්.ආර්. ප්‍රනාන්දු, එල්.බී. හර්මන් සහ කේ.වී චන්ද්‍රසේන යන සිව්දෙනා වෙත ලෙනින් සම්මානය පුද කරන ලදී.

Related posts

Comments are closed.

Top