ආපසු ශ්‍රී ලංකාවට යාම ගැන දෙමළ ඩයස්පෝරා වාසීන්ට අනතුරු ඇඟවීමක්

#StopTorture_report_WEB19

මෛත්‍රී-රනිල් පාලනය යටතේත් පැහැරගෙන යාම් සහ රහසිගත වධකාගාර තුල කෙරෙන ලිංගික හිංසන පිළිබඳව චෝදනා කරන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විමුක්ති කොටි සංවිධානය සමග කිසියම් හෝ සම්බන්ධයක් පැවති විදේශගත දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට ආපසු යාම අවදානම් සහගත බවට අනතුරු අඟවයි.

“කොයිතරම් දුරස් වුවත්, කොයිතරම් ඈත කාලයක වුවත්, පහල මට්ටමේ ක්‍රියාකාරිකයකු වුවත් අතීතයේ එල්ටීටීඊය සමග කිසියම් හෝ සම්බන්ධයක් තිබුනි නම්, ආපසු ගමට යාම ආරක්ෂිත නොවේ,” යයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ වාර්තාව සකස්  කළ මර්සුකි දරුස්මාන්ගේ නායකත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍ය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ජනවාරි 6 දා ප්‍රසිද්ධියට පත් කළ වාර්තාවක සඳහන් වෙයි.

ඔවුන් පවසන පරිදි, විමුක්ති කොටි සංවිධානය සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන අයෙක් වේනම් පැහැරගෙන යාමටත්, වධ හිංසාවට භාජන වීමටත් බරපතල අවදානමක් පවතී.

වධයට පාත්‍රවූ 32ක්

වත්මන් රජයේ පාලන කාලය තුලත් පැහැරගැනීමට ලක්වූ විසි දෙනකුගේත් ඔවුන්ට දෙන ලද බවට චෝදනා කෙරෙන ලිංගික  වද බන්ධන වලත් ඝෝර විස්තර දක්වන ITJP යට අමතරව බ්‍රිතාන්‍යය මුලස්ථාන කොටගත් වධ හිංසාවෙන් නිදහස (FFT) සංවිධානයද මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය හා සමග එළි දැක්වූ නිවේදනයක දැක්වෙන පරිදි තවත් හත් දෙනකු එලෙසම පීඩාවට ලක්ව තිබේ.

වධ බන්ධන වල සලකුණු සහිත ඡායාරූප සහ වධකාගාර ඇතැයි චෝදනා කෙරෙන ස්ථාන වල සිතියම් සහිතව ‘Silenced: survivors of torture and sexual violence in 2015’ යනුවෙන්  පිටු 45ක වාර්තාවක් නිකුත් කරන ITJP සංවිධානය පවසන්නේ තවත් පස් දෙනකු විඳි ලිංගික හිංසන මුල් කොටගත් වධ බන්ධන පිලිබඳ විස්තර ද තමන් සතුව ඇති බවයි.

ඒ අනුව පසුගිය වසර තුලදී සංවිධාන දෙකට තොරතුරු ලබා දුන් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 32 කි.

#StopTorture_report_WEB8

සිංහල හමුදා නිලධාරියෙක්

ITJP ප්‍රකාශිකා ෆ්‍රාන්සස් හැරිසන් ගගන හා කියා සිටියේ ලිංගික හිංසනයට පත් දෙමළ සාතිශය බහුතරයෙන් තුනෙන් දෙපංගුවක්ම පිරිමි බවයි.

ඒ අතර සිංහල හමුදා නිලධාරියකුද වන බව ඇය පැවසුවාය.

වාර්තාවේ එන පරිදි ලිංගික වද හිංසා කළෝ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයෝය.

“මේ ලිංගික සන්තුෂ්ටිය සම්බන්ධ දෙයක් නොවේ. හිංසනයත්, සුවිශේෂ මට්ටමින් දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින් බලය යෙදවීමත් පිලිබඳ කාරණයකි,” යි ෆ්‍රාන්සස් හැරිසන් පැවසුවාය.

” අපරාධ කළ සීඅයිඩී යේත් හමුදා බුද්ධි අංශයේත් ක්‍රියාකාරීන් අතර ජ්‍යෙෂ්ට නිලධාරීහුද වෙති. ප්‍රශ්න කිරීම් සිදුකළ පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අතට අත දෙන ඡායාරුපයක් එක් වධකාගාරයක තිබිණි,” යි වාර්තාව පවසයි.

සුදු වෑන්

විදේශගතව සිට පෙරලා ශ්‍රී ලංකාව බලා පැමිණෙන දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඔත්තු බැලෙන අතර, විශේෂයෙන්ම වන්නියේ තොරතුරු ලබාදෙන දෙමළ ඔත්තුකරුවන් ගෙන් සමන්විත පුලුල් ජාලයක් ඇතැයි ද වාර්තාව කියා සිටී.

දිවයිනට පැමිණි අයකු පැහැර ගැනීමට පෙර රජයේ ඔත්තු සේවා ටික දිනක් සෝදිසියෙන් ඉන්නා බව පවසන ITJP වාර්තාවට අනුව ගුවන් තොටුපලින් අනාබාධිතව පිටවීම අනාගත ආරක්ෂාව පිලිබඳ සහතිකයක් නොවේ.

“කනගාටුදායක කාරණය වන්නේ සුදු වෑන් තවමත් ක්‍රියාත්මක වීමයි; තවමත් තත්වය පෙර සේමයි,” යනුවෙන් ITJP ප්‍රධානී යැස්මින් සූකා පවසන්නීය.

#StopTorture_report_WEB21

සංවිධිත හිංසනය

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් සිදු කරනු ලබන වධහිංසා සම්බන්ධයෙන් පියවර ගැනීම ඉහළ ප්‍රමුඛත්වයක ලා සැලකිය යුතු බවයි වධ හිංසාවෙන් නිදහස (FFT) සංවිධානය කියා සිටින්නේ.

“එක දිගටම වසර හතරක් තිස්සේ සිදුවූ සේම 2015 ද වධ හිංසාවට ලක්වීමෙන් අනතුරුව  ප්‍රතිකාර සඳහා FFT වෙත එවනු ලැබූ වැඩිම පිරිස ආවේ ශ්‍රී ලංකාවෙනි,” යි එය පවසයි.

“ශ්‍රී ලංකා යුද හමුදාව සහ බුද්ධි අංශ විසින් වධහිංසා හිංසා පැමිණවූ බවට වෛද්‍ය සාක්ෂි අප සතුව තිබේ,” යි එහි ප්‍රකාශිකා සෝන්යා ස්කීට්ස් ප්‍රකාශ කළාය.

පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීමටත්, අපරාධ කරුවන්ට දඬුවම් පැමිණවීමටත් නම්, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයටත්, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමටත් පියවර ගන්නා ලෙස FFT සහ ITJP යන සංවිධාන දෙකම ශ්‍රී ලංකාවේ රජයට බලකර සිටියි.

බ්‍රිතාන්‍ය විපක්ෂයේ විරෝධය මැද එරට අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සඳහා පවුම් කෝටි භාගයකට වැඩි මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.

එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන අයට එරෙහිව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් දියත් කෙරෙන ප්‍රචණ්ඩත්වය තනි පුද්ගලයන් විසින් කෙරෙතැයි යන්න ප්‍රතික්ෂේප කරන ITJP පවසන්නේ එය ‘හමුදාවත්, පොලිසියත් තුල මුල් බැස පවත්නා කප්පම් ගැනීමෙන් පන පෙවුණු මනා ලෙස සංවිධානය වූ යාන්ත්‍රනයක්’ බවයි.

FFT සහ ITJP විසින් නඟන බරපතල චෝදනා පිළිබඳව රජය ගන්නා පියවර දැන ගැනීමට ගගන ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

සේයා: ITJP

Related posts

Comments are closed.

Top