‘ගිරිතලේ හමුදා කඳවුරට මුද්‍රා තබා නෑ’ හමුදා ප්‍රකාශක

Prageeth

හය අවුරුද්දකට පෙර අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පිළිබඳ පරීක්ෂණ වලට යුද හමුදාව සහාය නොදීම  හමුදාපතිට නඩු පැවරීමට හේතු විය හැකි බවට අධිකරණය නිර්දේශ කිරීමෙන් දිනක් ඇතුලත ගිරිතලේ හමුදා කඳවුරේ අල්මාරි කීපයක් යුද හමුදාවම විසින් මුද්‍රා තබා තිබේ.

කෙසේවෙතත්, ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුර  මුද්‍රා තබා නොමැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ සඳහා අධිකරණයෙන් ඉල්ලා ඇති වාර්තා ලබා දීම සඳහා සහාය වීමට   යුද හමුදා පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් ඇති බවත් එම ස්ථානයේ අදාළ ලියකියවිලි ඇතැයි පැවසෙන කාර්යාලයේ ‘කබඩ් වලට’ පමණක් ආරක්ෂා  සලසන ලද බවයි හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර ගගන හා කියා සිටියේ.

ලිපි ලේඛණ සොයා ගැනීම

අධිකරණයෙන් ඉල්ලා ඇති ලේඛණ කිහිපයක්  සොයාගැනීම පිණිස  එම කඳවුරේ  ලිපි ලේඛණ ඇතැයි පැවසෙන කබඩ් වලට ආරක්ෂාව සපයා ඇති අතර  අදාල වාර්තා සොයා ගැනීමෙන් පසු කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රගිත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ සදහා  අවශ්‍ය තොරතුරු යුද හමුදාව විසින් ලබා නොදෙන්නේ නම් යුද හමුදාපතිවරයාට නඩු පැවරීමට හැකි බව  හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගියදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම අනුව හමුදාව විසින් මෙවන් පියවරක් ගන්නට ඇතැයි තමන් සිතන බවයි එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පෙනී සිටින  නිතිඥ උපුල් කුමාරප්පෙරුම ගගන හා කියා සිටියේ.

හමුදාවේ සහාය

2010 ජනවාරි 24 වැනිදා අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ යුද හමුදා කඳවුරට ගෙනගොස් ප්‍රශ්න කරන ලද බව සොයාගෙන ඇති බව පවසන ශ්‍රී ලංකාවේ පොලිසිය කියන පරිදි හමුදා නිලධාරීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, ලුතිනන් කර්නල්  ප්‍රබෝධ සිරිවර්ධන, සැරයන් ප්‍රියන්ත කුමාර (නාදන්), ඩිලන්ජන් උපසේන (සුරේෂ්) සහ රවීන්ද්‍ර රුපසේන (රංජි) මේ වනවිට සැකපිට අත් අඩංගුවේ සිටිති.

ඔවුන්ද කැටුව ගිරිතලේ යුද හමුදා කඳවුරට ගොස් පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය රහස් පොලිසියට නියෝග කළේ ඉකුත් සැප්තැම්බර් 28 දාය.

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවශ්‍ය සෑම සහයෝගයක්ම  ලබා දෙන ලෙසට  යුද හමුදාපතිවරයා විසින් අදාල හමුදා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි ඒ අවස්ථාවේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගගන ට ප්‍රකාශ කළේ.

Related posts

Comments are closed.

Top