භික්ෂූන් වහන්සේට නීති පැනවීමේ සැලසුම්වලට නාහිමි විරෝධය | VIDEO

 

medagama dhammananda

භික්ෂූන් වහන්සේගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධයෙන් අණ පනත් පැනවීමට රජය විසින් ගෙන එන යෝජනා වලට අස්ගිරි මල්වතු දෙපාර්ශවයේ ප්‍රධාන පෙලේ බෞද්ධ ස්වාමීන්වහන්සේ ගෙන් විරෝධයක් මතුවී තිබේ.

සංඝ සමාජය වෙනුවෙන් නීති සම්පාදනය කළ යුත්තේ භික්ෂුන් වහන්සේ විනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නොවන බවයි නාහිමිවරුන් පවසන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක  විසින් 12 අඟහරුවාදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’ නම්  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අස්ගිරි කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද  හිමියන් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් ගෙන එනු ලබන නීති රෙගුලාසි වලට අලුතින් සංශෝධන ඉදිරිපත් කිරිමට දේශපාලනඥයන්ට අවස්ථාව ලැබෙන හෙයින් එමගින් භික්ෂුන් වහන්සේලාට අනිසි බලපැමක් කිරීමට අවස්ථාවක් ලැබෙන බවයි.

මෙම කෙටුම්පතට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතක් සකස් කර සම්මත කරගත යුතු අතර ඉන් අනතුරුව එය එකී නිකායේ හෝ පාර්ශ්වයේ මහනායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක් ද සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමු කළ යුතුය.

සංඝ බේදයක්

නිකායික වශයෙන් වෙන වෙනම කතිකා ලියාපදිංචි කරගැනීමෙන් භික්ෂුන් වහන්සේලා අතර බෙදීමක් ඇති වන බව පෙන්වා දෙන ධම්මානන්ද හිමියෝ එම පිළිවෙත  ඉදිරියේදී භික්ෂුන් වහන්සේ නිකාය  මාරු කිරීමට පවා මග පාදනු ඇති බව පවසති.

එබැවින් එවැනි නීති සම්මත කරගැනිමේදි සියලු භික්ෂුන්වහන්සේලාගේ පොදු සම්මුතියකට එළැඹීම සුදුසු බවයි අස්ගිරි විහාරවාසී මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේ.

මල්වතු අනුනායක ආචාර්ය නියන්ගොඩ විජිතසිරි හිමියන් පවසන්නේ භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන්ද විහාරස්ථාන හා සාසනික කටයුතු සම්බන්ධයෙන්ද අනපනත් සම්මත් කරන්නේ නම් ඒ සදහා භික්ෂුන් වහන්සේගේ එකඟත්වය අනිවාර්යෙන්ම ලබා ගත යුතු බවයි.

ශාසනික කටයුතු වලදි ගැඹුරු අවබෝධයකින් තොරව කටයුතු කිරිමෙන් විශාල හානියක් සහ ව්‍යකුල තත්වයක්, එමෙන්ම විශාල විවේචනයකුත් එල්ලවිය හැකි බැවින් විචාරශිලිව කටයුතු කිරිම රාජ්‍ය පාලකයන්ගේ වගකිමක් බවයි උන්වහන්සේ ගගන හා කියා සිටියේ.

with gayantha

‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’

යෝජිත පනත් කෙටුම්පත  අනූව බෞද්ධ භික්ෂුන්  වහන්සේලා ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියැලීම හෝ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම තහනම් වන අතර ඒ සඳහා දඬුවම් ද ලබාදිය හැකි බව සදහන්ය.

එසේම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ගැනීම හා වාහන පැදවීම ද දඬුවම් ලැබිය හැකි වරද වන අතර ථෙරවාදී භික්ෂූන්ට අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් කටයුතු කිරීම ද දඬුවම් ලැබිය හැකි වැරදි ලෙසයි සදහන් කර ඇත්තේ.

එලෙස සිදු කරන උල්ලංඝණ සඳහා දඬුවම් 7ක් පනත මගින් යෝජනා කර ඇති අතර අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම ඊට අයත්ය.

සම්මත කරගන්නා කතිකාවත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම විශේෂඥ මණ්ඩලයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් සහ උන්වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුමැති නීතිඥවරුන් දෙදෙනකුගෙන් සමන්විත විය යුතු බව අදාළ කෙටුම්පතෙහි දක්වා ඇත.

දැඩි දඬුවම්

ලියාපදිංචියෙන් පසුව මෙම කතිකාවතේ සියලු විධිවිධාන එකී පාර්ශ්වයේ හෝ නිකායේ සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතු බවත්, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම දැඩිව පිළිපැදිය යුතු බවත් ඊට අනුකූල ව හැසිරිය යුතු බවත් එහි සදහන්ය.

මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන කඩ කළහොත් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, චෝදනා ලත් භික්ෂූන් වහන්සේට ද අදහස් දැක්වීමට අවස්ථාව හිමි වෙයි.

චෝදනාවලට වැරදිකරුවන භික්ෂූන් වහන්සේට පෙර සඳහන් කළ දඬුවම් ද, එම දඬුවම් ප්‍රතික්ෂේප කරන්නේ නම් භික්ෂුව මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර රුපියල් 50,000ට නොඅඩු දඩයක් හෝ මාස 06ක සිර දඬුවම් ලබාදීමට හෝ එම දඬුවම් දෙකම ද ලබාදිය හැකි ය.

එලෙස වරදකරු වූ භික්ෂු නමක් වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් මගින් බාරගැනීම නොකළ යුතු බවත්, භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු බවත් පනතේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

Comments are closed.

Top