යුදමය වශයෙන් පරාජය වූ කොටි කැරලිකරුවන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම ඉටු කිරීමට නව රජය උර දී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකළ පිහිනුම් තටාකය අඟහරුවාදා ( 19) පස්වරුවේ අබාධිත හමුදා නිලධාරීන් ගේ අයිතියට පවරා දෙමිනි.
2009 මැයි 18 වනදා එල්.ටී.ටී.ඊ සංවිධානය සටන් බිමේ යුදමය වශයෙන් පරාජය වුවත්, මේ රටේ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමට ඔවුන් තුල තිබූ මතවාදය ඒ තුල පරාජය නොවූ බව ද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේය.
කොටි කැරලිකරුවන් මතවාදී ලෙස පරාජය කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට රජය කැපවී කටයුතු කරද්දී රටේ ජාතික ආරක්ෂාව බිඳ දමා, ආරක්ෂක අංශ දුර්වල කිරීමට රජය කටයුතු කරන බවට ඇතැම් පිරිසක් චෝදනා නගමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී පටු දේශපාලන මතධාරින්ගේ සියලූ චෝදනා රජය දැඩිව ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියේය.
“රටින් පිට සිටින එල්.ටී.ටී.ඊ කැරලිකරුවන් අපේ රටේ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ දකින අශිලාචාර සිහිනය බිඳ දැමීමට ජාත්‍යන්තරයේ සියලූ සහාය අද ශ්‍රී ලංකාවට හිමිව ඇති බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට ද්වේෂ කරන, ඒකීය භාවයට අභියෝග කරන රටින් පිට සියලූ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට නව රජය කැපවී සිටිනවා” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
යුද්ධය අවසන් කාලයේ සිදුවූවා යැයි චෝදනා කරන ඇතැම් සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෙත ලබාදුන් පුහුණු අවස්ථාවන්ගෙන් සහ තාක්ෂණික සහයෝගයෙන් ලෝකයේ බොහෝ රටවල් ඉවත් වූ අතර තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව එම රටවල රාජ්‍ය නායකයන්ගෙන් කරන ලද ඉල්ලීම අනුව එම අවස්ථාවන් නැවත ශ්‍රී ලංකා හමුදාවන් වෙත හිමිව ඇති බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී පැවසීය.
මිහිදු සෙත් මැඳුරේ නිරික්ෂන චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා අබාධිත හමුදා නිලධාරීන් ගේ සුව දුක්ද විමසීය.