විදෙස් මැදිහත්වීම ලබා ගැනීමට ශ්‍රී ලංකාවට බල කරන මෙන් ඉල්ලීම්

Jaffna xmas 2015 IDP camp

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට ජාත්‍යන්තර දායකත්වය සහතික කිරීම සඳහා පියවර ගන්නා මෙන් ලෝකයේ මුල් පෙලේ මානව හිමිකම් සංවිධානයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල යෝජනාවට එක්වූ රටවලට බල කර සිටියි.

 

“යුද අපරාධ අධිකරණයකට ජාත්‍යන්තර සහභාගිත්වය ලබාදීම මානව හිමිකම් මණ්ඩලය විසින් තීන්දු කර හමාර වන අතර එය නැවත වෙනස් කළ නොහැකි බව,” ශ්‍රී ලංකාවට පහදා දෙන ලෙස නිව් යෝක් මුලස්ථාන කොටගත් හියුමන් රයිට්ස් වොච් (HRW) ශ්‍රී ලංකාව සමග හවුලේ ජිනීවා යෝජනාව සම්මත කරගත් රටවලින් ඉල්ලා තිබේ.

 

‘ජාත්‍යන්තර මැදිහත් වීමකට කිසිසේත්ම එකඟ නොවන’ බවට ජනාධිපතිවරයා බීබීසීයට කළ ප්‍රකාශයට විරෝධය පල කරන ජාත්‍යන්තර සංවිධාන අතරට එක්වන HRW පවසන්නේ යුක්තිය සහ වගකීම් සහගත භාවය සහතික කරනු පිණිස ජාත්‍යන්තර මැදිහත්වීමක් ජිනීවා යෝජනාව සම්මත කරගන්නා අවස්ථාවේ ජගත් මණ්ඩලයේදී ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා රජය බවයි.

Mangala zeid wijayadasa

‘නිදහසට හේතු නෑ’

 

“මේ වැදගත් යෝජනාව හරියාකාර ක්‍රියාත්මක කිරීම සහතික කරවා ගැනීමට පසුගිය අවුරුද්දේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සමග ඉතා සමීපව වැඩ කළ රටවලට වගකීමක් තිබේ,” යි HRW ආසියා කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් ප්‍රකාශ කොට තිබේ.

 

“දැන් ඉතින් ආපහු හැරෙන්න නිදහසට හේතු නෑ,’ යි HRW ආසියා කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් 25 සඳුදා නිකුත් කළ නිවේදනයකින් දන්වා සිටී.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ අභිචෝදකයන් ප්‍රතික්ෂේප කිරීම දෝෂ දර්ශනයට ලක් කරන ඉන්ටනැෂනල් ක්‍රයිසිස් ගෘප් (ICG) ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇලන් කීනන් පවසා ඇත්තේ ‘බොහෝ දෙනකුට යාන්ත්‍රණයේ විශ්වසනීයත්වය රැඳී පවතිනු  ඇත්තේ ඉහල පුද්ගලයන් වරදකරුවන් වීම මත’ බවයි.

දේශපාලන ගණන් බැලීම

 

මේ අතර ජාත්‍යන්තර නීතිවේදී කොමිසමේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ සෑම් සරීෆි සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කළ පණිවුඩයකින් පවසා ඇත්තේ ‘සංක්‍රමනීය යුක්තිය ශ්‍රී ලංකාවේ තීරණාත්මක දේශපාලන ගැටළුවක්’ වී තිබෙන බවයි.

 

“යුක්තිය ඉටු කර ගැනීම සඳහා වන තම එකම අපේක්ෂාව දේශපාලන ගණන් බැලීමක් පදනම් කොටගෙන අත් හරින්නේ යයි යුද පීඩිත පවුල් වලට හැංගී යන්නේ නම්, සිරිසේන පාලනය විසින් හිමිකම් ක්ෂේත්‍රයේ අත් කොට ගෙන තිබෙන සැබෑ ජයග්‍රහණ වහ වහා වියැකී යනු ඇතැ,” යි HRW ආසියා කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් අනතුරු අඟවයි.

Brad Adams with SL defence secretary Karunasena Hettiarachchi 2015 October

බ්‍රැඩ් ඇඩම්ස් ප්‍රමුඛ HRW නියෝජිත පිරිසක් 2015 ඔක්තෝබරයේ ශ්‍රී ලංකාව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හමුවී | සේයා: ආරක්ෂක අමාත්‍යාංශය

විදේශ අමාත්‍යංශ එකඟතාව

 

යුද අපරාධ චෝදනා විභාග කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා විසින් බීබීසීයට කී දිනයේම රජය යුරෝපා සංගමය සමගින් එකඟ වී ඇත්තේ ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමටයි.

 

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේදී සම්මත කරගත් යෝජනාව ප්‍රමුඛතාවයේ ලා සලකා සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශවයම පිළිගන්නා ලද,” බව යුරෝපා ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම යටතේ වන රාජ්‍යකරණය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ජනවාරි 21 දා ජනමාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

එදින කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති දෙපාර්ශවයේ මංගල හමුවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ නායකත්වය පඕලා පම්පලෝනි විසින්ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානත්වය ඒඑල්ඒ අසීස් විසින්ද උසුලන ලද බව විදේශ අමාත්‍යාංශය පවසයි.

Related posts

Comments are closed.

Top