‘මහනාහිමියනි, ඒකීය භාවය ගැන බිය නොවන්න’ ව්‍යවස්ථා කමිටු සභාපති | VIDEO

Lal Wijenayake visits Malwatte chief prelate Thibbotuwawe Sri Aumangal thero

යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය අහෝසි වීම පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවට ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් ජනතා අදහස් විමසීම සඳහා රජයෙන් පත් කර ඇති කමිටුවේ ප්‍රධානියා මල්වතු මහා නාහිමියන්ට සහතික විය.

ව්‍යවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා යෝජනා ලබා ගැනීමට පළමු ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජික පිරිසක් කැටුව පෙබරවාරි පළමුදා මල්වතු මහා විහාරයට ගිය කමිටු සභාපති ලාල් විජේනායක එම සහතිකය ලබා දුන්නේ තිබ්බොටුවේ ශ්‍රී සුමංගල නාහිමියන් රටේ ‘ඒකීය භාවය නැති කරන බවට,’ සිදු කෙරෙන ප්‍රචාර සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදීයි .

ජනමත විචාරණයක් 

පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතා යෝජනා ඇසුරෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් තම නායකත්වයෙන් යුත් කමිටුවේ රාජකාරිය බව මහනාහිමියන්ට පහදා දුන් ලාල් විජේනායක පසුව මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේ එය පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් ද මන්ත්‍රීවරුන් සතු වන බවයි.

නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍යවන අතර ජනමත විචාරණයකින් ඒ සඳහා අවසාන අනුමැතිය ලබා ගත යුතු බව කමිටු ප්‍රධානී මහනාහිමියන්ට පෙන්වා දුන්නේය.

“බය වෙන්න දෙයක් නෑ. අවසාන වශයෙන් ජනතාව තමයි තීරණය කරන්නේ,” යි නීතිඥ ලාල් විජේනායක පැහැදිලි කළේය.

ත්‍රිරෝද රථ රියදුරන්

මහජන ඡන්දයෙන් තේරී පත්වීමෙන් අනතුරුව මැතිවරණ පොරොන්දු ඉටු නොකරන මන්ත්‍රීවරුන් ආපසු කැඳවීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කරදෙන ලෙස ද යෝජනා වී ඇති අතර මහජනතාවගේ දුක් ගැනවිලි මහත් සංඛ්‍යාවක් තමන් වෙත ලැබී ඇති බවද කමිටු සභාපති වරයා ප්‍රකාශ කළේය.

මේ වන විට භාෂා තුනෙන්ම එලි දක්වා ඇති වෙබ් අඩවියටද ජනතා යෝජනා ගලා එන බව ඔහු කියා සිටියේය.

කොළඹදී කරන ලද මහජන අදහස් විමසීමේදී ‘ත්‍රිරෝද රථ රියදුරන්ගේ සිට මහාචාර්යවරුන්’ දක්වා වන විවිධ සමාජ තලවල ජනතාව අදහස් හා යෝජනා ලබාදෙමින් සිටින බව කී ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ ප්‍රධානියා කියා සිටියේ ඇතැම් සාමාන්‍ය පිරිස් විශේෂඥයන්ට වඩා හොඳ යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

 

Related posts

Comments are closed.

Top