සැබෑ නිදහස ‘දේශපාලන සිරකරුවන් නිදහස් කළොත් පමණයි’ | VIDEO

Independence march to PM

රටේ සැම දෙනාටම නිදහස සැබෑ ලෙස සැමරීමට හැකි වන්නේ දේශපාලන සිරකරුවන් මුදා හැරියොත් පමණක් බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයක් රජයට කියා සිටී.

වසර ගණනාවක් නඩු නැතිව සිටින දෙමළ රැඳවියන් නිදහස් කරන ලෙස බලකරන සන්දේශයක් පෙබරවාරි පළමුවැනිදා රජයට භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාර මාරිමුත්තු සතිවේල් පියතුමා ප්‍රකාශ කළේ 68 වැනි නිදහස් සමරුව සැබෑ ජාතික උළෙලක් වීමට නම්, දෙමළ ජනතාවටත් පූර්ණ නිදහස භුක්ති විඳීමේ හැකියාවක් තිබිය යුතු බවය.

දෙමළ නායකයන් සමග ඇති කරගත් එකඟතා සිංහල දේශපාලකයන් විසින් රකින ලද්දේ නම් ප්‍රභාකරන් සහ ඔහුගේ දේශපාලනය නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සිහිපත් කළ සතිවේල් පියතුමෝ එම ජාතිවාදී පිළිවෙත පරාජය කිරීමට නම් දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බව අවධාරණය කළහ.

නිදහස අත් කර දෙන බවට රජය අඩුම වශයෙන් සිව් වතාවක් වත් දේශපාලන සිරකරුවන්ට ලබා දුන් පොරොන්දු කඩ කර ඇති බව පියතුමන්ගේ චෝදනාවක් විය.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකයෝ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටින් ඇරඹි පා ගමනකින් ගොස් සිය ඉල්ලීම් අඩංගු සංදේශය අගමැති කාර්යාලයටත් ජනාධිපති කාර්යාංශයටත් භාර දුන්හ.

Related posts

Comments are closed.

Top