සිංහල උප සිරැසි සහිත වීඩියෝව  "/>

පරණගම වාර්තාව රජයේ නිල ප්‍රකාශයක් නොවේ: ජනාධිපති | VIDEO

with Al Jazeera

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට දේශීය යාන්ත්‍රණයක් කෙරේ විශ්වාසය තැබිය යුතු බව නිරන්තරයෙන්  අවධාරණය කරන ජනාධිපතිවරයා අතුරුදහන් වූවන් සොයා බැලීමට පත් කොට ඇති ජනාධිපති කොමිසමක වාර්තාව රජයේ නිල ප්‍රකාශනයක් නොවන බව ප්‍රකාශ කරයි.

යුද අපරාධ පිලිබඳ චෝදනා එල්ලවී තිබෙන බවද ප්‍රතික්ෂේප කරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී වසරක් ගතවීම නිමිති කොට අල් ජසීරා රුපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය සඳහා පත් කොට ඇති පරණගම කොමිසම නිරීක්ෂණ කමිටුවක් පමණක් විනා පරීක්ෂණ කොමිසමක් නොවන බවය.

යුද්ධයේ අවසාන භාගයේදී උල්ලංඝනය වූ ඇතැම් ජාත්‍යන්තර මානවීය නීති යුද අපරාධ ගනයේ ලා සැලකිය හැකි හෙයින් ඒ පිළිබඳව විනිශ්චයකාරවරයකුගේ මුලිකත්වයෙන් විභාගයක් පැවැත්වීමට පරණගම කොමිසම 2015 අගෝස්තුවේ කළ නිර්දේශය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනී හොදා අබ්දෙල් හමීඩ් විමසු අවස්ථාවේයි ජනාධිපතිවරයා එසේ පැවසුවේ.

සිංහල උප සිරැසි සහිත වීඩියෝව  

රෝහල් වලට පහර දීම 

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සමස්ත යුද හමුදාව වගකිව යුතු නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වරද කළ අය සොයා ගත හොත් ඔවුන් සම්බන්ධයෙන් රටේ නීතියට අනුව පියවර ගන්නා බවට සහතික වුනේය.

ඇතැම් හමුදා භටයන් තනිව කළ අපරාධ තිබිය හැකිවා සේම රෝහල් වලට පහර දීම වැනි ක්‍රියා ඉහල බලධාරීන් ගේ අනුදැනුම ඇතිව සිදුවිය හැකිව තිබීමේ ඉඩකඩ පිළිබඳව විමසූ මාධ්‍යවේදිනියට ජනාධිපතිවරයා කියා සිටියේ විභාගයක් නොකර නිගමනයකට එළඹිය නොහැකි බවයි.

රෝහල්වලට පහර දීම ඇතුළු යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් නොකර තීන්දුවකට එළඹිය නොහැකි බව කී ජනාධිපතිවරයා හොදා අබ්දෙල් හමීඩ් හා පැවසුවේ එවැනි විමර්ශනයකට සාක්ෂි දීම සඳහා ඕනෑම අයකුට පැමිණිය හැකි බවයි.

විමුක්ති කොටි සංවිධානය 

යුද්ධයට දෙපාර්ශවයක් සහභාගී වූ බව කී ජනාධිපතිවරයා ‘එල්ටීටීඊ ත්‍රස්තවාදීන් රෝහල් වලට පහර දුන්නේ නම් එය බරපතල වරදක්,’ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සැබවින්ම නිදහස් කර ගැනීමට නම් සත්‍යයට මුහුණදී වගවීම සම්බන්ධයෙන් තීරණාත්මක පියවර ගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යුද හමුදාව විසින් එල්ල කරන ලද බර අවි ප්‍රහාර වලට රෝහල් ගොදුරු වූ බව යුද්ධයට නායකත්වය දුන් හමුදාපති සරත් ෆොන්සේකා මීට ඉහත ගගන සමග කළ සාකච්ඡාවකදී පිළි ගෙන තිබේ.

Related posts

Comments are closed.

Top