ජගත් මානව හිමිකම් ප්‍රධානියා ගේ සිව් දින ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි දිනයේදී උතුරට පැමිනි අවස්ථාවේ පලාතේ මහ ඇමැතිවරයා අතුරුදහන් වුවන් හාරදහසකට වැඩි පිරිසකගේ ලැයිස්තුවක් භාර දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු 7 ඉරිදා උතුරු සහ නැගෙනහිර පලාත්වල අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමුවෙමින් සංචාරයක නිරත ව සිටියදී උතුරු පළාත් මහ ඇමැති කනගසබාපති විස්වලිංගම් විග්නේස්වරන් විසින් යාපනයේදී එම ලැයිස්තුව භාර දුන් බවයි ගගන යාපනය වාර්තාකරු පවසන්නේ.
කෙසේ නමුත් එම ලැයිස්තුව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවයි මහ ඇමැති විග්නේස්වරන් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ.
දේශපාලන සිරකරුවන්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්ව සිටින දේශපාලන සිරකරුවන් ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කරන ලෙසට රජයට බලපෑම් කරන ලෙසට සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු ගෙන් ඉල්ලිම් කළ බව පවසන මහ ඇමැතිවරයා දැනුම් දුන්නේ අත් අඩංගුවේ සිටින පිරිස ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කළ නොහැකි යැයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බවයි.
දේශපාලන සිරකරුවන් බන්ධනාගාර ගත කිරීමට උපයෝගී කොට ගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතු බව මීට ඉහතදී මහ කොමසාරිස් වරයා ප්‍රකාශ කොට තිබුනි.
“හිතුමතේ සිරගතකොට තබාගැනීම, අසාධාරණ නඩු විභාග සහ වධ හිංසා පැමිණවීම සඳහා නීතිමය අවසරයක් සපයන,” පනතක් ලෙසයි ඉකුත් සැප්තැම්බරයේ මානව හිමිකම් මණ්ඩලයේ තිස් වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සෙයිද් කුමාරයා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හඳුන්වා දුන්නේ.
සිරකරුවන්ට එල්ල වී තිබෙන චෝදනා පිළිබදව නඩු විභාග කර ඔවුන් නිදහස් කළ යුතු වග පවසා ඇති මානව හිමිකම් කොමසාරිස්වරයා මහ ඇමැති සී.වී. විග්නේෂවරන් ට පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ නඩු කටයුතු කඩිනමින් සිදු කිරීම සදහා පියවර ගන්නා ලෙස රජයට අවධාරණය කරන බවයි.
සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු සමග යාපනයේ මහ ඇමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාව සඳහා ආණ්ඩුකාර එච්එම්ජීඑස් පලිහක්කාර, උතුරු පළාත් සභා අමාත්‍ය පී ඩෙනිෂ්වරන් සහ පුරවැසි ක්‍රියාධරයන් ද එක්ව තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා මහ ඇමැති කාර්යාලය අසලට රැස්ව සිටි අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන්ගේ ඉල්ලීම් වලටද ඇහුම්කන් දී තිබේ.
යුද අනාථයන්
යුද්ධයෙන් තම මුල් ඉඩම් අහිමිව මේ වන තෙක් අනාථ කඳවුරුවල ජීවත් වන ජනතාව මුණගැසීමටද යාපනයේ පිහිටි චුන්නාක්කම් කදවුර වෙත ගොස් ඇති කොමසාරිස්වරයා නැවත පදිංචි කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා පවත්වන බවට ද ඔවුන් හට පොරොන්දු ලබා දී තිබේ.
අල් හුසේන් කුමරු එම ජනතාවට පවසා ඇත්තේ අනාථ කඳවුරු වල සිටින්නන් තමන්ගේ මීලඟ සංචාරයේ දී මුල් ගම් බිම් වල පදිංචිව සිටිනු දැකීම අපේක්ෂා කරන බවයි.

හුසේන් කුමරු යාපනය නල්ලුර් කොවිල වෙතද ගොස් ඇති අතර එම ස්ථානයේ රැස්ව සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ යුද්ධය හේතුවෙන් මුල් ඉඩම් අහිමි වු මුස්ලිම් ජනතාවද නැවත තමන්ගේ මුල් ඉඩම් වල පදිංචි කරවීමට අවශ්‍ය කටයුතු සදහා මැදිහත් වන ලෙසයි.
එම ඉල්ලීම ඇතුලත් සන්දේශයක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට භාර දීමට එම ජනතාව කටයුතු කර තිබේ.
මහ කොමසාරිස්වරයා 08 සඳුදා මහනුවර ගොස් මහ නාහිමිවරුන්ද බැහැ දුටුවේය.