මහනාහිමිවරු මහකොමසාරිස්ට දේශීය යාන්ත්‍රණයක් අනුදැන වදාරති | VIDEO

with Nilanga Dela Bandara

ශ්‍රී ලංකාවේ යුද්ධයේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගැනීම දේශීය යාන්ත්‍රණයක් මගින් සිදු කළ හැකි බවට අස්ගිරි මල්වතු මහනාහිමියෝ ජගත් මානව හිමිකම් ප්‍රධානියාට අනුශාසනා කළහ.

සිය ශ්‍රී ලාංකික සංචාරයේ තෙවැනි දිනය වන 8 සඳුදා මහනුවර ගිය සෙයිද් රාද් අල් හුසේන් බෞද්ධ මහනායක හිමි දෙපල මුණ ගැසුණු මුල්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයායි.

සෙයිද් කුමාරයා හට අනුශාසනා කිරීමෙන් අනතුරුව ඔහු ‘කාරුණික කොමසාරිස් වරයකු’ ලෙස හැඳින්වූ ගලගම ශ්‍රී අත්ථදස්සී අස්ගිරි මහනාහිමියන් මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේ “දේශීය යාන්ත්‍රණයක් තුල අපේ කටයුතු අපට කරගත හැකි බව එතුමාට අපි කියලා දුන්නා,” යනුවෙනි.

“විදේශීය රටවලින් පරීක්ෂණයක් පවත්වනවාට වඩා දේශීය යාන්ත්‍රණයකින් එය සිදු කළ හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසය,” වග මල්වතු මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ මානව හිමිකම් කොමසාරිස් හට පවසා සිටියහ.

එක්සත් ජාතීන්ගේ සහාය

දෙමළ ජනතාව ගේ සුබසාධනය ශ්‍රී ලංකාවේ ජනපති අගමැති දෙපල විසින් සොයා බැලෙන බව වදාළ මල්වතු මහනාහිමියෝ ඔවුන්ට සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  ප්‍රධානී ඌනා මැකෝලේ ද සමගින් මහනාහිමි දෙපල බැහැ දැකීමට පෙර  දළදා මාලිගාවේ විශේෂ තේවාවකට සහභාගිවූ සෙයිද් කුමාරයා පිළිගන්නා ලද්දේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ බණ්ඩාර විසිනි.

දළදා දර්ශනය තමන්ට කරන ලද මහත් ගෞරවයක් බව කී මහා කොමසාරිස් වරයා එය හැඳින්වුයේ  දුර්ලභ වරප්‍රසාදයක් ලෙසයි.

“මහනාහිමිවරුන්ගේ මගපෙන්වීම, උපදෙස් සහ නිර්දේශ වලට ඉතා ඕනෑකමින් සවන් දුන්,” බව මහ කොමසාරිස් සෙයිද්  මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී විරෝධය

අස්ගිරි මහනාහිමියන් සහ කොමසාරිස් තුමන් සාකච්ඡාව පවත්වන අවස්ථාව වාර්තා කිරීම අවහිර කෙරුනු මාධ්‍යවේදීහු ඊට දැඩිසේ විරෝධය පල කළහ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගෞරවණිය මාධ්‍යවීදීන්ට බොහෝ ප්‍රශ්න තිබෙන වග දන්නා තමන් හෙට දිනයේ කොළඹ පවත්වන මාධ්‍ය හමුවකදී සියල්ලට පිළිතුරු දෙන බවයි.

Related posts

Comments are closed.

Top