ප්‍රගීත් පැහැරගෙන යාමට සෙබළුන් සම්බන්ධ බව පොලිසියට එළිවේ

Prageeth-campaign-Poster

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන හමුදා නිළධාරින් වගකිව යුතු බවට සාක්ෂි හෙළිදරව් වී තිබෙන්නේ යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර විසින් ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක වෙත පෙබරවාරි 10 දා ඉදිරිපත් කළ වාර්තාවක් මගිනි.

එම වාර්තාවට අනුව එක් අයකු හැර අනිකුත් සැකකාර හමුදා නිළධාරින් 2010 ජනවාරි මස 25 දා අක්කරෙයිපත්තුවේ කෝමාරි ප්‍රදේශයේ සිටි බවට දුරකතන වාර්තා මගින් හෙළිවී තිබේ.

මීට ඉහත දී  පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන් පරිදි අතුරුදහන් වීමෙන් පසු ප්‍රගීත් ගිරිතලේ හමුදා කඳවුරට ගෙනගොස් තිබුණි.

හමුදා බුද්ධි නිළධාරින්

ප්‍රදීප් එක්නැලිගොඩ 2010 ජනවාරි මස 24 වැනි දින කොළඹට තදාසන්න ප්‍රදේශයකදි පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනුයේ යුද හමුදා බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිනන් කර්නල් අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන්වරුන් වන ප්‍රියන්ත කුමාර, කණිෂ්ක ගුණරත්න, ප්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර සහ රවින්ද්‍ර රූපසිංහ යන සත් දෙනාය.

Gnanasara

බොබසේ මහනායකට ඇප නෑ

 

මේ අතර සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බොදුබලසේනා නායකයාට ඇපදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු නැවත වතාවක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇපදීමට එරෙහිවෙමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙන්වා දී ඇත්තේ පීඩිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව ඇප දීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට නොව අභියාචනාධිකරණයට බවයි.

 

අතුරුදහන් ප්‍රගීත් සොයා දෙන ලෙස ඉල්ලමින් පවරා ඇති නඩුව මේ මස 23 දා නැවත විභාගයට ගැනීමට නියමිත බව නීතිඥ කුමාරප්පෙරුම ගගන ට කියා සිටියේය.

Mohan peiris UN

‘ඇසින් දුටු’ ව්‍යාජ ප්‍රකාශ

කෙසේ වෙතත් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ රජයේ  නීතිපති ධූරය දැරූ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් 2011 දී වධ හිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම හමුවේ කියා සිටියේ ‘අතුරුදහන්ව සිටිතැයි පැවසෙන ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තා’ විදෙස් රටක දේශපාලන රැකවරණ ලැබ ජීවත්වන බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි.

 

එසේම රජයේ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ද මහින්ද රාජපක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටියදී 2013 පාර්ලිමේන්තුවේ කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවට තමන්ටද දැන ගන්නට ලැබී ඇති බවයි.

 

ඒ ප්‍රකාශ මගින් ‘ප්‍රගීත් ට සිදුවුයේ කුමක්දැයි රජය හොඳාකාර දන්නා බවට පවත්නා සැකය’ තහවුරු වන බව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන කමිටුවේ ආසියානු ප්‍රධානී බොබ් ඩීට්ස් කියා තිබුනි.

Related posts

Comments are closed.

Top