එක්සත් ජාතීන්ට උවමනා පරිදි අධිකරණය කටයුතු කරන්නේ නෑ| VIDEO

v1

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතාව පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණය කටයුතු කරනු නැති බවට හිටපු ජනාධිපතිවරයා විශ්වාසය පල කරයි.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයක් නොමැති බවටත් අධිකරණය දේශපාලන අතකොලු වී ඇති බවටත් හුසේන් කුමරු සිදු කළ ප්‍රකාශය මෙරට අධිකරණය විසින් සැබෑ කරගන්නේ නැති බවට තමන්ට විශ්වාසයක් පවතින්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියේ 12 සිකුරාදා ඔහුගේ නව දේශපාලන හා මහජන සබඳතා කාර්යාලය බත්තරමුල්ලේදී විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

මානව හිමිකම් ප්‍රධානී හුසේන් කුමරු ලංකාවට පැමිණ ලංකාවේ අධිකරණ පද්ධතියටම පහර දී ගිය බව හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

අගනා නඩුකාරයන්, නීතිඥයන් සහ නීති නිලධාරීන් ශ්‍රී ලංකාවේ සිටියත්, වසර ගණනාවක් තිස්සේ ඔවුන් ට කටයුතු කිරීමට සිදුවූයේ ‘බරපතල ලෙස දේශපාලනීකරණය වූ,අසමතුලිත හා අවිශ්වසනීය’ ක්‍රමවේදයක් යටතේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් දිවයිනේ සිව් දින සංචාරයක් හමාර කරමින් කොළඹ දී කියා සිටියේය.

එසේ හෙයින්, ජගත් මානව හිමිකම් ප්‍රධානියා අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ ව විභාග කිරීම සිදු කළ යුත්තේ ශ්‍රී ලංකා රජයත් හවුලේ සම්මත කරගත් ජිනීවා යෝජනාව පරිදි විදේශීය විනිසුරන්ගේ සහභාගිත්වයෙන් බවයි.

දෙයියන්ගේම පිහිටයි

මහ කොමසාරිස්ගේ  කීම  සත්‍යයක් බවට පත් කරගතහොත්  රටේ ජනතාවට ඇත්තේ ‘දෙයියන්ගේම පිහිට’ පමණකැයි හිටපු ජනාධිපති වරයා කියා සිටියේ අධිකරණය සම්බන්ධයෙන් හුසේන් කුමරු සිදු කළ ප්‍රකාශය තමන් නීතිඥවරයකු ලෙස හෙලා දකින බව පවසමිනි.

එක්සත්  ජාතීන්ගේ සංවිධානය තුල  වෙනත් රටවල් සම්බන්ධයෙන් හැමදාමත් යෝජනා සම්මත වන නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නොපවත්වන මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඉදිරියට ගෙන යන බවට මහින්ද රාජපක්ෂ චෝදනා කළේය.

ඒ හරහා රටේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කර ඇති බව පවසන ඔහු රටේ ව්‍යවස්ථාව වෙනස් කරන ලෙසටද උපදෙස් ලැබී ඇති බවයි පවසා සිටියේ.

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන චෝදනා වලදී ඇමරිකාවද අනුගමනය කරන්නේ එක් එක් රටවලව වෙනස් වු ප්‍රතිපත්තීන් බවයී මහින්ද රාජපක්ෂ  අවධාරණය කර සිටියේ.

නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේ, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

Comments are closed.

Top