විධායක ජනපතිකම යොදා පක්ෂ සභාපතිකම හොරා ගත්තා

 

Kochchikadea-meeting-Namal

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සිදුවන හිරහැරවලින් ඔවුන් බේරා ගැනීමට නම් එහි සභාපතීත්වය අවශ්‍ය බැව් තමන්ට දැනුම්දුන් බැවින් තමුන් ‘ජනතාවගේ පැත්තෙන් සිතා එය පරිත්‍යාග කළ බව’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.  ඔහු මෙසේ පැවසුවේ මීගමුව කොච්චිකඩේ රැන්වෝල් හෝටලයේ පැවති ඒකාබද්ධ පළාත් පාළන නියෝජිත සංසදයේ ජාතික මහා සම්මේලයේ දී ය.

‘සමහරු කියනවා මං පක්ෂ සභාපතිකම දාලා ගියා කියලා. මං ඒක දන්දීලා ගියා කියලා. නෑ. එහෙම නෙමේ වුණේ. විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා මගෙන් සභාපතිකම පැහැර ගත්තා’ ඔහු වැඩිදුරටත් කීවේ ය. එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් 1437 දෙනාගෙන් 1401 දෙනෙකු මෙම සම්මේලනය සහභාගී වී සිටි අතර එහිදී ඒකච්ඡන්දයෙන් යෝජනා 5ක් සම්මත කර ගැනුණි.

මෙහි පළමු යෝජනාවේ සඳහන් වනුයේ ජනතා පරමාධිපත්‍යයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් වහාම පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට  ‘නමට පමණක් සීමා කර ගොඩනැඟූ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි බලය ක‍්‍රියාත්මක කරන්නා වූ මැතිවරණ කොමසාරිස්වරයාට’ බල කිරීමට සම්මේනය ක්‍රියා කළයුතු බවයි. මෙම ‘දෙමුහුන්‘ ආණ්ඩුව ‘කිසිදු සාධාරණ හෝ යුක්ති සහගත හේතුවකින් තොරව’ බහුතරයක් පලාත් පාලන ආයතන විසුරුවා හැරීම හේතුවෙන් පලාත් පාලන ආයතන මගින් සැපයෙන්නාවූ සේවා අයිතිය අත්තනෝමතික ආකාරයට අහෝසි වී ඇති නිසාත්, මෙම පලාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා ජනසම්මුතිවාදී ආණ්ඩුකරණයට පටහැනි නිසාත් මෙම ‘බල කිරීමේ යෝජනාව’ සම්මතකර ගෙන ඇත.

‘නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධිපත්‍යය වනසා දමා ඇති රටක් තුළ’ පොදුවේ රටේ ‘සියලුම පාර්ෂවයන්’ පීඩාවට හා මර්ධනයට ලක්කෙරෙන අතර විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ පිරිස දේශපාලන පලිගැනීමට ලක්වෙන බැවින් මෙම දේශපාලන දඩයම හෙළාදකිමින් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු ය යන්න මෙහිදී සම්මත වූ දෙවැනි යෝජනාවයි.

තුන්වැනි යෝජනාව වූයේ, 2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශාල ජය විනාශකර දැමූයේ 2014 වසරේ නොවැම්බර් මස 21 වැනිදා පක්ෂය හැර ගිය සාමාජිකයන් බවත් අද වන විට ඔවුන් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට පවා ‘බිය වී සිටිනවාට අමතරව’  පක්ෂය රැකගත් තමන්ට පවා චෝදනාද එල්ල කරනා බැවින් ඔවුන්ට සම්මේලනයේ විරෝධය  පළ කළ යුතු බව ය.

2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ‘කීර්ති නාමයට සහ ජනප‍්‍රසාදයට මුවා වී’, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී, පසුව ආණ්ඩුවට එක්වූ සියලු මැති ඇමතිවරුන්ට ‘අප‍්‍රසාදය සහ විරෝධය ප‍්‍රකාශ කිරීම’ සිව්වැනි යෝජනාව විය.  එසේම  ආණ්ඩු වීරෝධී ජනතා හඬට අවනතව, මෙම ආණ්ඩුවේ තමන් දරන සියලු තනතුරු හා වරප‍්‍රසාද අත්හරින ලෙස ඔවුන්ට බලකිරීමට ක්‍රියා කළ යුතු බවද මෙම සිව්වැනි යෝජනාවේ සඳහන් විය.

‘නව ජනතා බලවේගයට’ නායකත්වය දිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ බවත් එබැවින් එම නායකත්වය ‘නොබියව නොසැළී බාර ගන්නා ලෙස’ පලාත් පාලන ආයතනයන්හි බලවේගය වශයෙන් එම සම්මේලය ඔහුගෙන් ඉල්ලා සීටීමේ යෝජනාව අවසන් යෝජනාව විය.

Related posts

Comments are closed.

Top