කෝපායි ඉඩම් මුදා හැර අවසන් බව රජය කියයි 

Maithripala Sirisena and CV Vigeswaran

ශ්‍රී ලංකා රජයේ හමුදාව යටතේ පැවති යාපනයේ කෝපායි ප‍්‍රදේශයේ සියලූ ඉඩම් මුදා හැරීම සම්පූර්ණයෙන් අවසන් කොට ඇති බව රජය ප්‍රකාශ කරයි.

තෙලිප්පලෙයි සහ කෝපායි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 701 ක් නැවත එම ජනතාවට පවරාදීම ජනාධිපති වරයාගේ ප‍්‍රධානත්වයෙන් 12 සෙනසුරාදා සිදු කළ බව දැනුම් දෙන ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ එමගින් වසර 26 කට පසුව තෙලිප්පලෙයි ප‍්‍රදේශයේ පවුල් 650 කට නැවත තම මුල් ගම් බිමිවල අයිතිය හිමි වන අතර කෝපායි ප‍්‍රදේශයේ පවුල් 50 කට තම මුල් ඉඩම්වල අයිතිය හිමි වන බවයි.

එමෙන්ම යුධ සමයේ ආරක්ෂක හමුදා යටතට  පවරාගෙන තිබු තෙලිප්පලෙයි නඩේස්වරා මහා විද්‍යාලය සහ කණිෂ්ඨ විද්‍යාලය යළි එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පවරා දෙමින් එහි හිමිකම් පත‍්‍ර විදුහල්පතිවරුන් වෙත භාරදීමද මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් අතින් සිදු වී තිබේ.

අනතුරුව තෙලිප්පෙලෙයි නඩේස්වරා විද්‍යාලයේ පැවති ඉඩම් හිමිකම් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති වරයා ප‍්‍රකාශ කොට ඇත්තේ උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය නැවත ලබාදෙමින් ඔවුන් මුල් ගම් බිම්වල පදිංචි කරවීම රජයේ ප‍්‍රමුඛ කාර්යයක් සේ සළකා ඉටු කරන බවයි.

Maithripala Sirisena in Kopai , Jaffna

දකුණේ අන්තවාදීන් 

සංහිඳියාව සඳහා  උතුරට යන නියෝජිතයින් උතුරට පමණක් නොව දකුණටද ගොස් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා කියා ඇත්තේ සංහිදියා පළමුව අවබෝධයක් ඇති කළ යුත්තේ දකුණේ ජනතාව තුළ බවයි.

දකුණේ අන්තවාදී පිරිසක් රජයේ වැඩ පිළිවෙලට විවිධ චෝදනා සහ විවේචන එල්ල කරමින් සිටින බව පැවසු ජනාධිපති වරයා උතුරේ අහිංසක ජනතාව කඳවුරුවල ගත කරන දුක්ඛිත ජීවන තත්ත්වය දැක බලා ගැනීමට උතුරට පැමිණෙන්නැයි ඉල්ලා සිටියේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන්, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අංගජන් රාමනාදන් හා මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක්ද යාපනය දිස්ති‍්‍රක් ලේකම් වරයා  ඇතුළු රාජ්‍ය නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වලිකාමම් උතුරේ අධි ආරක්ෂිත කළාපයක් ලෙස යුද හමුදාව යටතේ පවත්වාගෙන යන තමන්ට අයත් ඉඩම් ආපසු ලබා දෙන ලෙස රජයට බලකරමින් අනාථ කදවුරු 32 ක ජීවත්වන  වලිකාමම් ජනතාව විසින් සතිකට ඉහතදී උපවාසයක් ආරම්භ කළ අතර  ජගත් මානව හිමිකම් ප්‍රධානියා ගිය බ්‍රහස්පතින්දා  රජයෙන් ඉල්ලා සිටියේ හමුදාව යටතේ ඇති ඉඩම් මුදා හැරීම කඩිනම් කරන ලෙසයි.

Related posts

Comments are closed.

Top