නාමල්ගෙන් අහන්නේ ‘මිලියන 450ක කොමිස් මුදලක් ගැනයි’ | VIDEO

namal edit

පොලිස් මුල්‍ය අපරාධ ඒකකය පාර්ලීමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රශ්න කිරීම සඳහා කැඳවීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවද, සැබවින්ම එසේ සිදුවන්නේ මන්ත්‍රීවරයා  විදෙස් සමාගමකින් ලබා ගෙන ඇති බැව් පැවසෙන අති විශාල කොමිස් මුදලක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණයන්ට අදාළව යැයි  දූෂණ විරෝධි සංවිධානයක් කියා සිටි.

මරදාන සී.එස්.ආර් ශාලාවේ පසුගිය සිකුරාදා (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දූෂණ විරෝධි පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් විසින් සඳහන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගෙන් පොලිස් මුල්‍ය අපරාධ ඒකකය ප්‍රශ්න කරන්නේ ඔහු විසින් පසුගිය පාලන සමයේ දී මෙරට හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරිම සඳහා  ඉල්ලුම් කළ  ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 450 කොමිස් මුදලක් ලබා ගැනිමකට අදාළව බවයි.

දේශපාලනඥයන් තිදෙනකුගේ නම්

ක්‍රිෂ් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් වටිනා  හෝටල් ව්‍යාපාරයක් ලංකාවේ ඇරඹීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ 2012 වර්ෂයේ ගිවිසුමක් අත්සන් කොට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීමට රුපියල් මිලියන 450 ක කොමිස් මුදලක්  පාර්ලීමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ විසින්  ලබා ගෙන ඇති බවත්, එසේ ලබා ගෙන ඇත්තේ කොළඹ කොටස් වෙළද පොළ එවක සභාපතිවරයා වු ආචාර්ය නාලක ගොඩහේවා මැදිහත් කොට ගෙන බවත් මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ යැයිද දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකවරයා කියා සිටියි.

එසේම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මෙරට දේශපාලනඥයන් තිදෙනකුගේ සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නම් ඈඳී තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

” මේ ඉඩම ක්‍රිෂ් සමාගමට හිමිවන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්. ඒ සඳහා ගිවිසුම සකස් කරන්නේ නාමල් රාජපක්ෂ ඇසෝසියෙට් නීති සමාගම විසින්. ඒ සඳහා අවශ්‍ය ලියැකියැවිලි සකස් කොට ඇත්තේ නිතිඥ සුජානී බෝගොල්ලාගම විසින්. එපමණක් නොවෙයි නාමල් රාජපක්ෂ කොටස් වෙළද පොළ එවක සභාපතිවරයාවු ආචාර්ය නාලක ගොඩහේවා හරහා තමයි කෙටි පණිවුඩයක් යවමින් මෙම ව්‍යෘපෘතියට අවශ්‍ය මූලික අනුමැතිය සැපයීමට නම් රුපියල් මිලියන 450 ක එනම් ඩොලර් මිලියන 3.5 කොමිස් මුදලක් ක්‍රිෂ් සමාගමෙන්  ඉල්ලා ඇත්තේ. ඒ අනුව එම සමාගම සිංගපූරුවේ පිහිටි HSBC බැංකුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ගිණුමක මුදල් තැන්පත් කොට තිබෙනවා” යි දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකවරයා වැඩිදුරටත් පවසියි.

Krrish Square

යෝජිත ක්‍රිෂ් චතුරශ්‍රය

මාධ්‍යවේදීන්ට ප්‍රහාර

කෙසේ නමුත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාළ ගිවිසුම් ප්‍රකාර තම ආයතනයට අයවිය යුතු රුපියල් මිලියන 450 ක මුදල වහා ගෙවන ලෙස ක්‍රිෂ් සමාගමට දැනුම් දී  ඇති බවත්,මේ වන විටත් තමන් සියළු ගෙවීම් කොට අවසන්ව ඇති බව එයට ප්‍රතිචාර ලෙස එම සමාගම නාගරික සංවර්ධන අධිකාරියට දැනුම්දී ඇති බවත් පවසන දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකවරයා,මෙම ගැටළුව හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය අතරමග ඇනහිට ඇතැයිද පවසයි.

එසේම මෙම මුදලින් රුපියල් මිලියන 400 ක් නැවත එම සමාගම වෙත නාලක ගොඩහේවා මගින්ම ගෙවා ඇති බවද ක්‍රිෂ් සමාගම මුදල් තැමන්පත් කළ රිසිට්පත මෙන්ම අදාළ කෙටි පණිවුඩය පිළිබඳවද පොලිස් මුල්‍ය අපරාධ ඒකකය විසින් පරික්ෂණ පවත්වමින් සිටින්නේ යැයි  ඔහු හෙළි කළේය.

මෙම මුල්‍ය වංචාව පිළිබඳව තොරතුරු මුල්වරට හෙළිදරව්වුයේ මාධ්‍යවේදිනි මන්දනා ස්මයිල් අබේවික්‍රමට 2013 වර්ෂයේදි එල්ල වු ප්‍රහාරයෙන් පසුව යැයි සඳහන් කරන ඔහු විසින් අවධාරණය කරනු ලබන්නේ මෙවැනි දෑ දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම අනුමත කළ එකක් හැකි එකක් නොවන බවයි.

කොළඹ නගරය මැද අක්කර හතරහමාරකට ආසන්න භුමි භාගයක සුඛෝපභෝගී හෝටලයක්, සුපිරි නිවාස සහ ඉහල ගණයේ වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීම තම සැලසුම බව ක්‍රිෂ් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

Related posts

Comments are closed.

Top