මේ පාලනය යටතේත් මහා වංචා සිදුවන බවට ගණකාධිකාරීන්ගෙන් චෝදනා

DM Swaminathan with Maithripalaa Sirisena

යහපාලන රජයේ ඇතැම් පාර්ශව විසින්ද 2015 ජනවාරි 8 වැනි දිනට පෙර ශ්‍රි ලංකාවේ සිදුවූ ආකාරයේ මුල්‍ය අක්‍රමිකතාවයන් සිදුකරමින් සිටින බවට රටේ ගණකාධිකාරීන්ගේ ප්‍රධාන වෘත්තීය සමිතිය චෝදනා කරයි.

නව රජයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යාංශය විසින් ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට ඇති මිල ගණන් මෙන්ම ඒ සඳහා අනුගමනය කොට ඇති ක්‍රමවේදයෙහිද බරපතල අක්‍රමිකතාවයන් ගණනාවක් සිදුව ඇති බව ශ්‍රි ලංකා ගණකාධිකාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් පෙරේරා අද (22)  කොළඹ මාධ්‍ය හමුවකදි අනාවරණය කළේය.

ටෙන්ඩර් පට්පාටියෙන් තොරව

”මේ ආණ්ඩුව යටතේත් විවිධ මුල්‍ය අක්‍රමිකතා සිදුවෙමින් තිබෙනවා. මෙහි අලුත්ම එක තමයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අනුගමනය කොට ඇති ක්‍රමවේදය. මේක තනිතරම දේශපාලන බල අධිකාරිත්වයේ උවමනාව සහ මැදිහත්වීම මත සිදුව ඇති එකක්. ගණකාධිකාරිවරුන්ගේ විරෝධතාවය නොතකා කරන ලද ගනුදෙනුවක්”.

 

ටෙන්ඩර් පට්පාටියකින් තොරව අදාළ ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා තක්සේරු කරු විසින් මුලින්ම ඉදිරිපත් කොට ඇති මිල රුපියල් මිලියන 3 වු බවත්, පසුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව සති තුනකට පසු එම  තක්සේරුවම  රුපියල් මිලියන 4.2 ලෙස වැඩිවී ඇති බවයි  ඇන්ටන් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිට සහ අගමැතිට අභියෝගයක්

කෙසේ වෙතත් සහ මසක කුලිය ලෙස රුපියල් මිලියන 30.92 ගෙවන ලෙස ඇමතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද නියෝගය ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රධාන ගණකාධිකරිවරයා සහ නියෝජ්‍ය ගණකාධිකාරිවරයාත් ඇතුලු  පරිපාලන නිලධාරින් දෙදෙනකු මාරු කර යවා ඇති බවත් ලේකම්වරයා චෝදනා කරයි.

 

මුල්‍ය වංචා  නතර කොට රටේ මහජන මුදල් රැකගන්නා  බවට නිරන්තරයෙන්ම කරන ප්‍රකාශ ප්‍රායෝගිකව ඔප්පු කොට පෙන්විය යුතු වගට ශ්‍රි ලංකා ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ ලේකම් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අභියෝගයක්ද කර සිටී.

 

ඒ සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරිමේ අමාත්‍යවරයා ඩී එම් ස්වාමිනාදන් මෙන්ම ලේකම්වරයා සම්බන්ධයෙන්ද  කඩිනම් පරික්ෂණයක් පැවැත්විය යුතු බවටයි එම සංගමය වැඩි දුරටත් රජයට බලකර සිටී.

 

Related posts

Comments are closed.

Top