පීඩිතයන් හවුල් කර නොගෙන සත්‍යය හොයන්න බෑ

dc1616e2-fe7a-4863-8a56-8c188a698ddb

ශ්‍රී ලංකාව සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ක්‍රියාවට නැංවීමේදී  පීඩාවට පත් වුවන්ද එයට සහභාගි කරවාගැනීම ඉතා වැදගත් බව සංක්‍රාන්තික යුක්තිය පිළිබද ජාත්‍යන්තර නීති උපදේශකයෙක් පවසයි.

ප්‍රමාණවත් මහජන සහභාගීත්වකින් තොරව සිදුවන එවැනි කොමිසමක් තුලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බව සංක්‍රාන්තික යුක්තිය පිළිබද ජාත්‍යයන්තර උපදේශක නීතිඥ හාවඩ් වානි ප්‍රකාශ කර සිටියේ ද්වි භාෂා ප්‍රතිපත්තිය අර්ථවත් කරගැනීම වෙනුවෙන් කොළඹ දී  පැවති වැඩමුලුවකට විශේෂ දේශනයක් සඳහා එක්වෙමිනි.

ද්වි භාෂා ප්‍රතිපත්තිය අර්ථවත් කරගැනීම යන මැයෙන්  31 බ්‍රහස්පතින්දා කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ පැවති සාකච්ඡාව සහ වැඩ මුලුව සංවිධානය කර තිබුනේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.

වින්දිතයන්ගේ ආරක්ෂාව

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ක්‍රියාවට නැංවීමේදී සාක්ෂි ලබා දීම සදහා පැමිණෙන වින්දිතයන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රමාණවත් වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බවයි නීතිඥ හාවඩ් වානි පවසන්නේ.

ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවන විට වින්දිතයන් සාක්ෂි ලබා දීම සදහා ඉදිරිපත් නොවන තත්වයක් මතු බව බව පෙන්වා දෙන ජාත්‍යයන්තර නීති උපදේශකවරයා අවධාරණය කරන්නේ එමගින් ඔවුන් නැවත වරක් වින්දිතයන් බවට පත්වීමේ අවධානමක් පවතින බවයි.

දකුණු අප්‍රිකාව ආදේශනය

කෙසේ නමුත් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක්  මුල් කාලයේ දකුණු අප්‍රිකාවේද ක්‍රියාත්මක නොවු බවයි ඔහු පවසන්නේ.

12940981_1111544445592246_1194060452_o

සංක්‍රාන්තික යුක්තිය පසිඳ ලීම පිළිබද දකුණු අප්‍රිකාව, කෙන්යාව, නැගෙනහිර ටිමෝරය, සියරාලියොන්, ඊජිප්තුව වැනි රටවල අත්දැකීම් ඉදිරිපත් කරමින් දේශනය පැවැත්වු  නීතිඥ හාවඩ් වානි එහිදී විශේෂයෙන් අවධාරණය කර සිටියේ එවැනි රටවල ක්‍රියාත්මක වු යාත්ත්‍රණය සම්පුර්ණ ලෙසම තවත් රටකට ආදේශ කරගැනීම නොගැලපෙන අතර එම අත්දැකීම් උපයෝගීකරගනිමින් ශ්‍රී ලංකාව කටයුතු කිරීම වැදගත් වන බවයි.

සත්‍ය සෙවීමේ කොමිසමක් ක්‍රියාත්මක වීමේදී එය මහජනතාවට විනිවිද භාවයක් ඇතිවන ආකාරයෙන් ක්‍රියාත්මක වීම වැදගත් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඇතැම් අවස්ථාවලදී සංවේදී කාරනා සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව පවා ජනතාවට විවෘත නොවු ආකාරයේ රහසිගත භාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කළ අවස්ථා පවතින බවයි.

සත්‍ය සෙවීමේ සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීමට පෙර ඒ සම්බන්ධයෙන් සමාජය පුලුල් උපදේශනයකට ලක් කළ යුතු බව පවසන නීතිඥ හාවඩ් වානි එම ක්‍රියාවලිය තුලදී සිවිල් සමාජයේ යෝජනා සහ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් බව අවධාරණය කර සිටියේය.

විමසිල්ල

එම ක්‍රියාවලිය සිදු වන ආකාරය සම්බන්ධයෙන් සිවිල් සමාජය විමසිල්ලෙන් සිටිය යුතු අතර අඩුපාඩු සිදු වන අවස්ථාවලදී ඒවා පෙන්වා දෙමින් කටයුතු කළ යුතු අතර එම ක්‍රයාවලිය සම්බන්ධයෙන් සිවිල් සමාජය මුර බල්ලන් සේ පරික්ෂාකාරී විය යුතු බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සුදානම් වන මෙවැනි  මොහොතක  සිවිල් සමාජය ඉදිරිපත් කරන අදහස්  ඉතා වැදගත් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

ද්වි භාෂා ප්‍රතිපත්තිය අර්ථවත්කරගැනීම යන මැයෙන් සංවිධානය කර තිබු මෙම වැඩ මුලුව සදහා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම  සාමය හා ගැටුම්නිරාකරණය පිළිබදව අධ්‍යනය කරනු ලබන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක්ද එක්ව සිටියහ.

Related posts

Comments are closed.

Top