පුතුට පාසලක් ඉල්ලා අම්මා ජනාධිපති කාර්යාලය ලඟ උපවාසයේ

child 1

සිය දරුවාට අධ්‍යාපනය ලැබීමට  පාසැලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුරය, මහවිලච්චිය, රන්දූව ප්‍රදේශයේ මවක් එම දරුවාද සමඟ දින දෙකකට ආසන්න කාලයක් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වෙමින් සිටී.

අනුරාධපුරය, පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයේ  ගුරුවරියන් පිරිසක් විසින් කරන ලද පහර දීමකින් අනතුරුව පාසලෙන් ඉවත් කර ගන්නා ලද තම නම හැවිරිදි පුත්‍රයා පසුව වෙනත් පාසල් දෙකකට ඇතුළු කළද ඒවායින්ද  තම දරුවා ඉවත් කළ බවත් දරුවාගේ මව ගගන හා කියා සිටියාය.

“පුතාට අනුරාධපුරය සිද්ධාර්ථ විද්‍යාලයේ ගුරුවරියන් තිදෙනෙක් පහර දිලා තිබුණා. ඒ ගැන විදුහල්පතිතුමාට පැමිණිළි කළා කියලා ඒ ගුරුවරියෝ පුතාට දිගින් දිගටම හිරිහැර කරන්න පටන් ගත්තා. ඒ නිසයි පුතාව ඒ ඉස්කෝලෙන් අයින් කර ගත්තේ. ඉවත් කළාට පස්සේ ඒ ආසන්නයේම තියෙන කාශ්‍යප විද්‍යාලයට ඇතුළත් කළා. මාස කිහිපයකින් කිසිම හේතුවක් නැතිව මගේ දරුවාව ඒ පාසැලෙනුත් අයින් කළා. ජනවාරි මාසයේදි බෝගස්හන්දිය තක්ෂිලා මහා විද්‍යාලයට ඇතුල් කළා. මාස එකහමාරකට පස්සේ ඒ පාසලෙනුත් අයින් කරා”.

‘නිශ්ශබ්දව ඉන්න’

සිය දරුවාට පහරදී හිරිහැර කළ සිද්ධාර්ථ විද්‍යාලයේ එක් ගුරුවරියකගේ ස්වාමි පුරුෂයා මහවිලච්චිය පොලිසියේ නිලධාරිවරයෙක් බවත්, එම විදුහලේ විදුහල්පතිවරයාගේ සහ ගුරුවරුන්ගේ බලපෑමට අනෙකුත් පාසැල්වලින්ද සිය දරුවා ඉවත් කරන්නට ඇති බවත් ඈ කියා සිටි.

එම දරුවා මාස කිහිපයක් තුළ පාසැල් තුනකින් ඉවත් කිරිම සහ දරුවාට පාසැලක් අහිමි කිරිම පිළිබඳව දරුවාගේ මව 2015 මාර්තු 02 දින අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම්ට ලිඛිතව පැමිණිළි කළද අමාත්‍යවරයාගේ පිළිතුර වි ඇත්තේ ලඟ තියෙන පාසලකට ළමයාව ඇතුළු කර නිශ්ශබ්දව සිටින ලෙසටයි.

child 2

පොලිස් බාධක

අබාධිත තත්ත්වයේ පසුවන තම දරුවා අධ්‍යාපනයට ඉතා දක්ෂ බව පවසන දරුවාගේ මව, තමන්  අධ්‍යාපන බලධාරින් වෙත දිගින් දිගටම ලිඛිතව පැමිණිලි කළද කිසිදු පලක් නොවුණු තැන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි උපවාසයක් කිරිමට සිදුවු බවයි ගගන හා කියා සිටියේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියා සිටිනුයේ එම උපවාසයට සහාය දැක්විමට ගිය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් කිහිප දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් පැය කිහිපයක් රඳවා තබා ගත් බවයි.

Related posts

Comments are closed.

Top