අන්තරෙන් රජයට ‘අවුරුදු’ චෝදනා

මාලඹේ 2gged

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල සහ වෛද්‍ය පීඨ 6ක සිසුන් දින 100කට ආසන්න කාලයක් අඛණ්ඩ සත්‍යාග්‍රහයක නිරතව සිටියදි ජනාධිපතිවරයාත්,අගමැතිවරයත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුත් අවුරුදු සමරමින්  සිටින්නේ යැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන චෝදනා කරයි.

ඒ ජයවර්ධනපුර ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව,අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසින් පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවකදිය.

එම මාධ්‍ය හමුව අමතමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන ලහිරු වීරසේකර කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ආණ්ඩුවට බල කරමින් රට පුරා විශ්ව විද්‍යාල 6 ක සිසුන් සත්‍යග්‍රහ අට්ටාලවල සිටියදි ආණ්ඩුවේ බලධාරින් ඒ පිළිබඳව කිසිදු තැකිමකින් තොරව කටයුතු කරමින් සිටින බවයි.

“සිසුන් අට්ටාලවලට නැගලා දින සියයකට ආසන්න කාලයක් සත්‍යග්‍රහ කරනවා. මේ රටේ ජනාධිපතිවරයා ඒක දන්නේ නෑ.අගමැතිවරයා දන්නෙත් නෑ.උසස් අධ්‍යාපන ඇමතිවරයා දන්නෙත් නෑ.ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රිවරු දන්නෙත් නෑ”

එසේම විශ්ව විද්‍යාල සිසුන් සත්‍යග්‍රහ කරන විට එය රටේ ප්‍රශ්නයක් ලෙස දැක ජනාධිපතිවරයා ඒ ගැන කතා කළේ කවදා දැයි අන්තරේ කැඳවුම්කරු විමසයි.

කෙසේ වෙතත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් රාගම වෛද්‍ය පීඨය සහ කරාපිටිය වෛද්‍ය පිඨය ඉදිරිපිට විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට මේ වන විට දින 87කි.  රජරට සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයට දින 81කි.  කොළඹ වෛද්‍ය පිඨය ඉදිරිපිට සත්‍යග්‍රහයට දින 83කි.  එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල සත්‍යග්‍රහයට දින 76ක් සපිරී ඇත.

Comments are closed.

Top