සාන්ත ලුයීස් සාහිත්‍යය සම්මානය මයිකල් ඔන්ඩච්චිට

Micheal ondajje_2

ඔස්කාර් සම්මානලාභී “දි ඉංග්ලිෂ් පේෂන්ට්” චිත්‍රපටයට පදනම් වුණු එනමින් ම යුතු විශිෂ්ඨ නවකතාව වෙනුවෙන් 1992දී නවකතාව සඳහා පිදෙන මෑන් බුකර් සම්මානය හිමිකරගත් මයිකල් ඔන්ඩච්චි 2016 වසර සඳහා සාන්ත ලුවීස් සාහිත්‍ය සම්මානයට හිමිකම් කීමට සමත්ව ඇත.

ඔහු මෙම සම්මානය බාර ගැනීමට නියමිතව ඇත්තේ එළඹෙන ඔක්තෝබර් මස හය වැනිදා ය.

මෙම සම්මානය සඳහා ඇගැයීම කරනු ලබන්නේ සහ එය ප්‍රධානය කෙරනු ලබන්නේ ඇමරිකාව සහ ස්පාඤ්ඤය තුළ පිහිටි සාන්ත ලුයීස් විශ්ව විද්‍යාලයේ පුස්තාකාලයීය මණ්ඩලය විසිනි.

 

විශිෂ්ඨත්වය ගැන

“මයිකල් ඔන්ඩච්චිගේ විශිෂ්ඨ භාෂාවේ තීව්‍රත්වය අපගේ සංවේදනාවන් කළම්බාලයි.බුද්ධිය තියුණු කරයි. පරිකල්පනය දීප්තිමත් කරයි.”

ශාන්ත ලුයීස් සම්මාන කමිටුවේ සභාපති ෆිලිප් බෝම් විසින් මෙම නිර්දේශය තහවුරු කරමින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ එසේ සඳහන් වේ.

“මිනිසුන් හා මිනිසුන් ඇති පෙදෙස් පුබුදුවාලන්නටත් ඔවුන් තුළ සැඟවී ඇති රහස්මතුපිටට කැඳවන්නටත් මයිකල් ඔන්ඩච්චි තුළ ඇත්තේ විශාරද බවකි.”

1967 වසරේ සිට පිරිනැමෙන සාන්ත ලුයීස් සම්මාන මීට පෙර හිමිකරගත් ප්‍රකට සාහිත්‍යකරුවන් අතර සල්මන් රුෂ්ඩි, ටෙනිසි විලියම්ස්, දිනුවා අචිබෙ, ජොආන් ඩිඩියොන්, මාරියෝ වාර්ගාස් ලියෝසා, ආතර් මිලර් ආදීහු වෙති.

 

රනිංග් ඉන් ද ෆැමිලි

සුප්‍රකට ඉංග්‍රීසි කවියකු වන ඕන්ඩච්චි කාව්‍ය ග්‍රන්ථ රාශියක හිමිකරුවෙකි. ඔහු මේ වන විට “දි ඉංග්ලිෂ් පේෂන්ට්”, “අනිල්ස් ගොස්ට්”, “ඉන් ද ස්කින් ඔෆ් අ ලයන්”, “ ද කැට්’ස් ටේබල්” ඇතුළු නවකතා හතක් ප්‍රකාශයට පත් කර ඇත.

1943 දී ලංකාවේ, අගනුවර වූ කොළඹ ඉපදුණු ඔන්ඩච්චි සිය මව සමඟ මව්බිම හැර යන්නේ වයස අවුරුදු 11දී ය.  ඒ එංගලන්තයටයි. එහි අධ්‍යාපනය හදාරමින් සිටි ඔහු යළි 1962දී කැනඩාව සිය වාසයට සඳහා තෝරා ගනී. ඉන් පසු කැනඩාවේ, රොරෙන්ටෝව සිය නිත්‍යවාසය කර ගන්නා ඔහු කැනේඩියානු පුරවැසිභාවය ලබා ගනී.

ස්වකීය අතීත ස්මරණ සටහන් පෙළකින් යුතු “රනිංග් ඉන් ද ෆැමිලි”  ඔහුගේ සප්‍රකට “මෙමුවා”  කෘතියකි. හැත්තෑව දශකයේ මුල සිය මව්බිමට පැමිණ අතීත ස්මරණයන් ඔස්සේ ඇවිද ගිය ගමන ගැන ඔහු ලියූ මෙම කෘතිය නූතනවාදී ලිවීමක් ලෙස පාඨක විචාරක අවාධානයට පාත්‍ර විය.

 

Related posts

Comments are closed.

Top