‘ජාතීන් අතර විශ්වාසය තුවක්කු බටයෙන් ගොඩනගන්න බෑ’ උතුරේ මහ ඇමැති

CV Kusal

ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයා යාමට  සුදුසු වාතාවරණයක් ඇති කිරීම සඳහා  අත්‍යාවශ්‍ය සාධකයක් වන ජාතීන් අතර විශ්වාසය ගොඩනැගීම උතුරු නැගෙනහිර දිගටම හමුදාව රඳවා තබමින් සිදු කළ නොහැකි බව උතුරේ මහ ඇමැති වරයා කොළඹදී ප්‍රකාශ කළේය.

 

“එය තුවක්කු බටයක කෙලවරින් බිහි වන්නේ නැහැ. යුද හමුදාව පුද්ගලික ඉඩම් අල්ලාගෙන ඉඳීමෙන් එය වැඩි දියුණු වන්නේත් නෑ. විශ්වාසය ගොඩ නැගීම සඳහා අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේ සිවිල් වාතාවරණය,” යැයි මහ ඇමැති කනගසබේ විස්වලිංගම් විග්නේස්වරන් කියා සිටියේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කුසල් පෙරේරාගේ දස වසරක ඉංග්‍රීසි ලිපි එකතුව  ‘අන්අර්ත්ඩ්’ සමගින් ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව අලලා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සංවාදයක ආරාධිත දේශනය පවත්වමිනි.

 

එකම ජාතියක් නෑ

 

ශ්‍රී ලංකාව නම් එකම ජාතියක් මේ වනවිට සිටිතැයි පිළි නොගන්නා වග ප්‍රකාශ කළ මහ ඇමැතිවරයා ජාතිය ගොඩනැගීම යනුවෙන් තමන් අදහස් කරන්නේ මේ මොහොතේ බිඳී තිබෙන දේශය  විවිධ ජාතීන්ට පොදුවූ ‘සියළුම වෙනස්කම් සහ විවිධතා සහිතව ගොඩනැගීම’ බව අවධාරණය කර සිටියේය.  

 

දේශය කැඩී බිඳී යාමට හේතුව සොයා ගැනීමත්, ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ගැලපෙන වාතාවරණය සකස් කර ගැනීමත් සංහිඳියාව සඳහා අත්‍යාවශ්‍ය සාධක ලෙස මහ ඇමැතිවරයා විසින් පෙන්වා දෙන ලදී,

 

කෙසේ වෙතත්, යුද වැන්දඹුවන් අනුදහසක් ඉන්නා උතුරේ ලක්ෂ එකහමාරක යුද හමුදාවක් පෞද්ගලික ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියදී ජාතික ප්‍රශ්නයට සාර්ථක විසඳීමක් සොයා ගත හැකි පරිසරයක් නිර්මාණය නොවන බවයි  මහ ඇමැති විග්නේස්වරන් ප්‍රකාශ කළේ.

CV Kusal Ivan

තවත් ප්‍රභාකරන් කෙනෙක්

 

ඉකුත් හත් අවුරුද්ද තිස්සේ ඉවත් නොකෙරුණු යුද හමුදාව දිගටම උතුරු නැගෙනහිර රඳවා තබාගැනීම කැරළිකාරිත්වයකට මග පාදනු ඇති බවට අනතුරු ඇඟවූ මහ ඇමැතිවරයා විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් හැඳින්වුයේ ‘රාජ්‍ය ත්‍රස්තවාදයේ නිර්මාණයක්’ ලෙසින්.

 

“යුද හමුදාව ක්‍රම ක්‍රමයෙන් අඩුකොට පසුගිය අවුරුදු හත ඇතුලත ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සංයුක්ත පියවර ගනු ලැබුවේ නම්, අපි දැනටමත් නැවත ගොඩනැගීමේත්, සංහිඳියාවේත් මාවතට අවතීර්ණ වී හමාරයි. දෙමළ ප්‍රජාව අවිශ්වාස කරමින් යුද පීඩිතයන් අතර දිගටම හමුදාව රඳවා තැබීමට රජය කටයුතු කරමින් සිටියොත්, තවත් ප්‍රභාකරන් කෙනකු බිහිවීම ගැන වෙන කාටවත් දොස් පවරන්න බෑ,” යි ඔහු පැවසීය.

 

කුසගින්නේ බණ ඇසීම

 

බඩගින්නේ සිටින අයකුට බණ දෙසීමෙන් පලක් නොවන බව කී බුදු වදන සිහිපත් කළ මහ ඇමැති විග්නේස්වරන්, යුද හමුදාවේ බලයට යටත්ව ඉන්නට සිදුවී ඇති යුද වැන්දඹුවන්ගෙන්ද, ඉඩම් සහ ජීවනෝපාය අහිමිවීම නිසා බරපතල ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටින පුද්ගලයන්ගෙන්ද සමන්විත ජනතාවක් අතරින් විසඳීම් ජනනය වෙතැයි අපේක්ෂා කළ නොහැකි බව අවධාරණය කළේය.

 

උතුරු නැගෙනහිරින් යුද හමුදාව ඉවත් කරන්නට ඇති මැලිකම සංහිඳියාවට මග පාදන ‘වට්ටෝරුවක්’ නොවන බව කී සීවී විග්නේස්වරන් මහ ආණ්ඩුව ප්‍රත්‍යන්ත පළාත් කෙරේ දක්වන ආකල්පය හැඳින්වුයේ  ‘අධිපතිවාදී’  එකක් ලෙසිනි.

 

“අපේ බිඳුණු දේශය නැවත ගොඩ නැගීමත්, සංහිඳියාවත් කරා යන ඒකාන්ත මාර්ගය වනු ඇත්තේ මධ්‍යම රජය අත සංකේන්ද්‍රණය වූ බලය ප්‍රමාණවත් ලෙස පරිවාරයට බෙදා හරිමින්, බහුතර ප්‍රජාවන්ගේත්, ඊනියා සුළුතර ප්‍රජාවන්ගේත් සමාන අයිතීන් පිළිගනිමින්, ඔවුන් එකිනෙකා සමගින් ගෞරවයෙන් හා විනීත භාවයෙන් යුතුව ගනු දෙනු කිරීමේ ඉඩකඩ පාදා දීම පමණි,” යි මහ ඇමැති විග්නේස්වරන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Victor Ivan

 

අතීත අත්දැකීම

 

ඉංග්‍රීසි පාලකයන්  ලංකාව හැරයාමෙන් ගතවූ දශක හයකට වැඩි අතීතය තුල දේශපාලන ඉතිහාසය පිළිබඳ ව සභාවේ මතකය අවදි කරමින් ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව’ සංවාදයට එක්වුණු ආරාධිත දේශක ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන් සිංහල, දෙමළ හෝ මුස්ලිම් කිසිවකුටත් ජාතිය ගොඩ නැගීම පිළිබඳව පැහැදිලි සැලසුමක් මේ තාක් තිබුනේ නැති බවට චෝදනා කළේය.

 

වර්තමාන පාලකයන්ට හෝ ඒ සඳහා අවශ්‍ය බුද්ධිය පහල වේවා’ යි රාවය ආරම්භක කතුවරයා ප්‍රාර්ථනයක් ද කළේය.

Related posts

Comments are closed.

Top