විග්නේස්වරන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ සැලසුමක් ප්‍රතික්ෂේප කරයි

Wigneswaran-4

විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාවේ රජය දියත් කළ යුද්ධයේ අවසන් අදියරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් හෙළිදරව් වී ඇති එක්සත් ජාතීන්ගේ සැලසුමක් ‘පාවාදීමක්’ ලෙසින් උතුරේ මහ ඇමැති වරයාගේ දැඩි විරෝධයට ලක්වී තිබේ.

චැනල් 4 බ්‍රිතාන්‍ය රුපවාහිනී ආයතනය විසින් හෙළි කොට ගෙන ඇති එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ලියවිල්ලකින් යෝජිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ වගකීම් සහගත භාවය පිලිබඳ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ප්‍රතික්ෂේප කරන මහ ඇමැති විග්නේස්වරන් එම සැලසුම් හඳුන්වන්නේ එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදය කෙරේ යුද පීඩිතයන් තැබූ විශ්වාසය පාවාදීමක් ලෙසිනි.

චැනල් 4

එක්සත් ජාතීන්ගේ සැලසුමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන පාර්ශව කරුවකු ලෙස නම් කොට ඇත්තේ  උතුරු පලාත් සභාවයි. මෙය ‘එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඒකපාර්ශවිකව සම්පාදනය කළ භයානක සහ සැක කටයුතු ලියවිල්ලක්,’ බව චැනල් 4 රුපවාහිනියට ප්‍රකාශ කොට ඇති මහ ඇමැති විග්නේස්වරන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ තාක් පලාත් සභාවෙන් කිසිදු විමසීමක් සිදු කොට නැති බවයි. යෝජිත අභ්‍යන්තර යාන්ත්‍රනය අධීක්ෂණය කරනු ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි. ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය තාක්ෂණික සහාය ලබා දෙනු ඇත.

Yasmin Sooka

යැස්මින් සූකා

දේශීය යාන්ත්‍රණයක් සඳහා රජයට කිසිදු තාක්ෂණික හෝ ආර්ථික සාහයක් ලබා නොදිය යුතු බව ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගේ වාර්තාව සම්පාදනය කළ විශේෂඥ මණ්ඩලයේ සාමාජිකා යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය නිර්දේශ කොට තිබේ. රට තුල තවමත් සිදුවන පැහැර ගෙන යාම් සහ වධ හිංසන සම්බන්ධ සවිස්තර වාර්තාවක් නිකුත් කරන එම සංවිධානය පවසා ඇත්තේ රජය තම වගකීම සම්බන්ධයෙන් පියවර නොගන්නේ තාක්ෂණික නොහැකියාව නිසා නොව, දේශපාලන අභිප්‍රායක් නොමැති කම නිසා බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතිය

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව මානව හිමිකම් සැසි වාරයට ලබා දීමට නියමිතව ඇත්තේ සැප්තම්බරයේය. අගෝස්තුවේ එය සාමාජික රටවල රාජ්‍ය නායකයන් අත පත් කෙරෙනු ඇත.

චැනල් 4 කළ විමසීමකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල යාන්ත්‍රණයකට තමන් සහාය දක්වන බවයි. එය දේශීය වේද, ජාත්‍යන්තර වේද, නැතහොත් දෙවර්ගයේම අංග වල සංකලනයක් වේද යන්න තීරණය කෙරෙනු ඇත්තේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් වරයාගේ නිර්දේශ වලින් අනතුරුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

 

Comments are closed.

Top