සිගරට්, අරක්කු නිසා රටේ සෞඛ්‍ය වියදම කෝටි විස්ස පනී

37534cd83a09f35081d7d323a3388f2d_L

දුම්වැටි සහ මත්පැන් භාවිතය නිසා රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 212ක් රජයට වැයවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එබැවින්  මානව සමාජය වෙනුවෙන් දුම්වැටි සහ මද්‍යසාර විරෝධී සටන  ඉදිරියට ගෙන යා යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  31 අගහරුවාදා  කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කර්යංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මෙම ප්‍රකාශය කළ බව රජය පවසයි.

‘දුම්පානය නිසා බිලියන 71.2ක සෞඛ්‍ය වැයක් සිදු වෙනවා. මද්‍යසාර හා දුම්වැටි නිසා සෞඛ්‍යයට වන බලපෑමත් වැඩියි. අද විශේෂ දිනයක්. දුම්වැටි නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වුණා. එහිදි  ජනාධිපතිතුමා එඩිතර ප්‍රකාශයක් කළා. වසර2020 වනවිට රටතුළ දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව,’ යැයි  ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

ඉදිරියටත් දුම්කොළ සහ මද්‍යසාරවලට එරෙහි සටන තවත් වේගවත් කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.‍

රූපමය අනතුරු ඇඟවීම් 

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මැයි 31 වන දින  ‘ලෝක දුම් කොළ නිවාරණ දිනය’ ලෙස නම් කර ඇති අතර මෙවර තේමාව වී ඇත්තේ, ‘විසිතුරු නොවන ඇසුරුම් වෙනුවෙන් පෙළ ගැසෙමු’ යන්නයි.

දුම්වැටි ඇසුරුම් වල සියයට 60ක් වැසී යන පරිදි රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මුද්‍රණය කළ යුතු බවට අධිකරණය විසින් 2014 ජූලියේ දෙන ලද නියෝගය ක්‍රියාවේ යෙදවුනේ 2015 ජනවාරියේ සිටය.

තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයේ සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද මුද්‍රණය නොකරන ලෙසට අල්ලස්, මරණ තර්ජන ඇතුළු විවිධ බලපෑම් සිදුවූ බව ජනාධිපතිවරයා පැවසුවද ඊට වග කිව යුත්තන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් වත්මන් රජය විසින් ගන්නා ලද බවක් මේතාක් වාර්තා වී නැත.

Related posts

Comments are closed.

Top