විරෝධය පලදෙයි: අනුෂ පැල්පිට ආණ්ඩුවේ අලුත් පදවියෙන් දොට්ට

anusha pelpita

පුරවැසි සංවිධාන වල අඛණ්ඩ විරෝධය හමුවේ අනුෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයෙන් වහාම ඉවත් කොට තිබේ.

අපරාධයක්, අල්ලසක් හෝ දුෂණ වංචාවක් සම්බන්ධ චෝදනා යටතේ නඩු පවරා ඇති පුද්ගලයකුට ආයතන සංග්‍රහය අනුව රජයේ සේවයේ නිලතල දැරිය නොහැකි බව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජිනසිරි දඩල්ලගේ  විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන විසින් දැඩිසේ හෙලා දකින ලදී.

මතුවූ දැඩි විරෝධයෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ පිලිබඳ තීරණයක් ගැනීම පවරා ඇත්තේ පොදු සේවා කොමිසන් සභාවටය.

හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඡන්දදායකයන්ට සිල් රෙදි බෙදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් හැට කෝටියක් නීති විරෝධී ලෙස වියදම් කිරීමේ චෝදනා ලද අනුෂ පැල්පිට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන විසින් ඇප පිට මුදා හරින ලද්දේ ඉකුත් ඔක්තෝබරයේ දීය.

කිත්සිරි රණවක 

දුෂණ වංචා චුදිත ආර්.ඒ.ඒ.කේ රණවක වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයට පත් කිරීමද සිවිල් සංවිධාන වල විරෝධයට හේතු වී තිබේ.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් ද සංවිධාන ගණනාවක් චෝදනා නගා ඇත්තේත් රාජ්‍ය සේවා කොමිසන් සභාවටය.

දිවි නැගුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල්ව සිටියදී මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරයක කටයුතු වෙනුවෙන් රුපියල් තුන්කෝටියක් මහජන මුදලින් වැයකොට ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති කිත්සිරි රණවක හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග විදේශගතවීම වලක්වා ලන තහංචි ඇතුළු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැර තිබුනේ මාර්තු 10 දාය.

 

Related posts

Comments are closed.

Top