ඒ අධ්‍යාත්මිකභාවය පැන නඟින්නේ ආදරය තුළින්- තරංගනී රෙසිකා ප්‍රනාන්දු (තරුරසී)

TRFTR-1

තරගංනී රෙසිකා ප්‍රනාන්දු කිවිඳියගේ කුළුදුල් කාව්‍ය කෘතිය ‘තරු ඇස් රහස් ‘ පිළිබඳ සහෘද – විචාරක කතිකාවතක් මෙම ජූනි මස 5 වැනිදා ඉරිදා පස්වරු 3ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වේ. මෙම කතිකාවතට මුලපිරීමේ දේශන ප්‍රවීන කිවිඳියක වන විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි සහ කිතුසර පුවත්පතේ ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් විසින් සිදුකෙරේ.

පහත පළවන්නේ ‘ගගන’ විසින් තරංගනී රෙසිකා කිවිඳිය හා සිදු කෙරුණු සංවාදයේ සටහනයි.

ඔබව සාහිත්‍ය ක්ෂේත්‍රෙයේ බොහෝ අය හඳුනන්නෙ තරු හෝ තරුරසී කියල. ඔබ සයිබර් බ්ලොග් අවකාශයෙ ඉන්නෙත් තරුරසී. පොතේ නමත් තරු ඇස් රහස්. මොකද්ද මේ තරම් තරු එකක් තියෙන සම්බන්දෙ?

මගෙ නම තරංගනී. ‘‘තරංගි” කියලයි බොහෝ දෙනෙක් මාව ඇමතුවෙ. ඒ අතර ඈත අතීතයේ දවසක සමීපතමයෙක් මගේ නම උපරිම කෙටි කරල ‘‘තරූ” කියල ආමන්ත්‍රණය කරනවා. ‘‘ඔබ මට තරුවකි” කියල හසුන් පතක ලියැවෙනවා. ඒ ආමන්ත්‍රණය බොහොම ළෙංගතු විදියට මට දැනෙනවා. තරු එක්ක සම්බන්ධය ඇරඹෙන්නෙ එතැනින්. ඉන්පසුව බොහෝ දෙනෙක් මාව තරූ කියල අමතනවා. මගේ බ්ලොග් අඩවිය නිර්මාණය වෙද්දි තරු සහ මම අතර සමීප සබැඳියාවක් ගොඩනැගිලා. ඒ අනුවයි බ්ලොග් අඩවිය ‘‘තරුරසී” වෙන්නෙ. ‘‘මේ විසල් අහස යට තරු කිරණක් තරම්වත් එළියක් වෙන්න උත්සාහ කරනවා මම.”තරුරසී අපේක්ෂාවන් වචන බවට පත්වෙන්නෙත්  එහෙම.

අවුරුදු විස්සක විතර කාලයක් ඇතුළෙ ලියවුණු කවි අතරින් මගේ හිතට වැඩියෙන්ම සමීප තෝරාගත් කවි ටිකක් තමයි ‘‘තරු ඇස් රහස්” පොතට ඇතුළත් වෙන්නෙ. මේ නම මාතෘකා වුණු කවියක් පොතට ඇතුළත් වුණත්, මගේ සමස්ත ජීවිතයම මේ කවි ඇතුළෙ නියෝජනය වෙලා තියෙන නිසා ‘‘තරු ඇස් රහස්”කියන නම පොතට වඩා ගැළපෙනවා කියල හිතුණා. මේ මහා විශ්වය එක්ක ගත්තම තරුවක් කියන්නෙ ඉතාම ක්ෂුද්‍ර වස්තුවක්. නමුත් හැම තරුවක් එක්කම ජීවිතයක්, මහා දිග ජීවිත කතාවක් තියෙනවා. දිලි දිලි නිවෙන දිස්නය අපේ ඇසට හසුවුණාට ඒ දිස්නයට එහායින් තියෙන ඇත්ත ජීවිතයට ළං වෙන එක තරමක් අසීරු වැඩක්. කවිය තුළින් මං උත්සාහ කරන්නෙ ඒ ජීවිතයට ළංවෙන්න. ඒ ජීවිතය නියෝජනය කරන්න. ඒ ජීවිතයට ආදරය කරන්න.

 

තරු ඇස් රහස් තුළ යම් ප්‍රමාණයකට භෞතික මැදිහත් වීම් ඉක්මවා යමින් අධ්‍යාත්මික මැදිහත් විම් ඉදිරියට පැමිණෙනවා කියලා මට හිතෙනවා. ඔබේ කවි පසුබිම හා පදනම මොකද්ද? කොහෙන්ද මේ අධ්‍යාත්මික ස්වරය කවියට එන්නෙ?

ක්‍රිස්තියානි දර්ශනය තුළ ගොඩනැගුණු අධ්‍යාත්මිකත්වයක් මා තුළ තියෙනවා. මට ඒක ප්‍රතික්ෂේප කරන්න කොහෙත්ම උවමනාවක් නැහැ.  මම ඉපදුණේ, හැදුණෙ වැඩුණෙ දහමට ළැදි කතෝලික පවුල් පසුබිමක. මම ජීවත් වුණේ, ඉගෙනගත්තෙ, උස්මහත් වුණේ බෞද්ධ ගැමි පසුබිමක. මේ ආගමික ක්‍රියාවලීන් දෙකම ළමා වියේ ඉඳන්ම මගේ අධ්‍යාත්මික ජීවිතයට ආලෝකයක් එකතු කරල තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම පල්ලිය, පන්සල හෝ ආගම කරපින්නාගෙන ජීවත් වෙන කෙනෙක් කියල.දර්ශනයේ හරයට සපුරා වෙනස් දෘෂ්ටිවාදී ආයතනික මෙන්ම අධිපතිවාදී ස්වරූප ගැන මගෙ තදබල විරෝධයක් තියෙනවා.

‘‘අනෙකා වෙනුවෙන් දිවි පිදීම තරම් ප්‍රේමයක් තවත් නැහැ.” කියපු ශාස්තෘවරයකු වන ජේසුගේ ජීවන දැක්ම තුළයි මම ජීවිතය ස්ථානගත කරන්න උත්සාහ කරන්නෙ. ඒක අභියෝගයක්. මම මගේ ජීවිතය තුළ අප්‍රමාණව ආදරය සහ මනුෂ්‍යත්වය අත්විඳල තියෙනවා. ඒ ආදරය  සහ මනුස්සකම පෙරළා නැවත මේ සමාජයට ලබා දිය යුතුයි කියල මම විශ්වාස කරනවා.  ඒ ප්‍රේමයේ ජීවිතය කවිය තුළ පමණක් නෙවෙයි, මා කරන කියන සෑම වැඩක් තුළම ජීවත් කරවන්න මං උත්සාහ ගන්නවා. ඔබ දකිනවානම් මගේ කවිය තුළ යම් අධ්‍යාත්මික ස්වරයක් මං හිතන්නෙ ඒ අධ්‍යාත්මිකභාවයපැන නගින්නෙ ආදරය තුළ කියල.

 

කවිය කියල තරුරසී හිතන්නෙ මොකද්ද? ඒක හුදෙකලා නිර්මාණ විෂයයක්ද නැත්නම් ඒකට අනන්‍යවූ කාර්භාරයක් තියෙනවද?

කවිය මට ජීවිතය හා සමාන වචනයක්. මේ සමාජයේ ජීවත් වෙද්දි මම අසන, දකින, විඳින අත්දැකීම්, ඒ හරහා උපදින හැඟීම් නිදහස්ව ප්‍රකාශ කළ හැකි මං කැමතිම මාධ්‍යය තමයි කවිය. තව කෙනෙකුගේ මාධ්‍ය නවකතාව, කෙටිකතාව වගේ වෙනත් සාහිත්‍ය ධාරාවක් වෙන්න පුළුවන්. චිත්‍රය, සිනමාව, නාට්‍යය, ඡායාරූපය වගේ වෙනත් කලා මාධ්‍යයක් වෙන්නත් පුලුවන්. භාෂාව එක්ක අරගල කරන්න වැඩි ඇල්මක් දක්වන මට ඒ සඳහා වඩාත් සුනම්‍ය මාධ්‍ය වෙන්නෙ කවිය. මං කවිය විඳිනවා. කවියට ආදරය කරනවා. කවියට ගරු කරනවා.

කවිය උපදින, කවිය නිර්මාණය වන අවකාශය හුදකලාව වෙන්න පුලුවනි. නමුත් එය කවියාගෙන් ඔබ්බට ගිහින් සමාජගත වුණාට පසුව එයටම අනන්‍යවූ කාර්යභාරයක් පැවරෙනවා. ඒ මෙහෙවර අධ්‍යාත්මික වෙන්න පුලුවන්, සමාජමය වෙන්න පුළුවන්.සැබෑ කවිය කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ අනන්‍ය වූ කාර්යභාරය නොපිරිහෙළා ඉටුකරන සංවේදී නිමැවුමක්. ඒ උත්තරීතර තැනට මගේ කවියත් එක්ක ගමනක් යන්න මම තව බොහෝ කැප විය යුතුයි, කවියත් එක්ක ජීවත් විය යුතුයි කියල හිතෙනවා. කවිය කියන විෂය තුළ තවමත් මට මාව දැනෙන්නෙ ළදැරියක් විදියට.

 

12107964_490323157802078_6851023064766592566_nඔබේ කවි තුළින් පෙනෙන තවත් වැදගත් දෙයක් තමයි පවතින සමාජ ක්‍රමය ගැන විශාල ප්‍රතිවිරෝධයක් ඔබ තුළ තියෙනවා. මේ ව්‍යාකූල සමාජය ආමන්ත්‍රණය කරන්න කවියෙන් පුලුවන්ද?

යම්තාක් දුරකට මේ ව්‍යාකූල සමාජය ආමන්ත්‍රණය කරන්න කවියට පුලුවනි. මේ ව්‍යාකූල සමාජය කියවගන්න, තේරුම්ගන්න, ප්‍රතිචාර දක්වන්න කවිය අපට අත්වැලක් කියලා මං විශ්වාස කරනවා. නමුත් කවිය පමණක් එයට ප්‍රමාණවත් නැහැ. ඉන් එහා ගිය පුළුල් වැඩපිළිවෙලක් ඒ සඳහා අවශ්‍යයි. කවිය විඳින්න පුළුවන්, ඒ විඳීම ගැන සංවාද වෙන්න විවේක බුද්ධිය ඇති, කවිය කියන සියුම් භාව ප්‍රකාශන මාධ්‍යය හරියට අල්ලගන්න පුළුවන් ආදරවන්ත සමාජයක් නිර්මාණය වෙන්න ඕන.  කවි ලිවීමෙන් පමණක් ඒ වැඩේ කරන්න අමාරුයි. ඒක අධ්‍යාත්මික, දේශපාලනික, සමාජ වෙනසක් තුළින් සිදුවෙන්න ඕන දෙයක්. අපි ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි.

මනුෂ්‍යත්වය, ජීවිතය ගැන අප්‍රමාණ ආදරයක් මා තුළ තියෙනව වගේම ඒ මනුස්සකම වළපල්ලට යවන සමාජ, දේශපාලන ක්‍රමය ගැන දැඩි විරෝධයකුත් මා තුළ තියෙනවා. යම් අවස්ථාවල ඒ විරෝධය කවියක් විදියට ලියවෙනවා. අපි සාමූහිකව කරන අනෙකුත් වැඩ එක්ක, මා අතින් ලියවෙන වෙනත් ලියවිලි එක්ක මං ඒ විරෝධය මුදාහරිනවා. ඒත් මට දැනෙනවා මේ මැදිහත්වීම ප්‍රමාණවත් නැහැ කියල. මේ මොහොත වන විටත් පවතින ක්‍රමය ගැන විරෝධය මා තුළම ඇතුළාන්ත අරගලයක් බවට පත්වෙමින් තියෙනවා. මම   මා තුළමත්, සමාජය තුළත් තරු ලකුණක් සොයමින් ඉන්නවා.

 

කිතු සමයේ විමුක්තිය විශද කරන සාහිත්‍යයික ප්‍රවේශයක් ඔබේ භාවිතාව තුළ දක්නට ලැබෙන බව කෘතියට පෙරවදනක් ලියන කිතුසරපුවත්පතේ ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් ලියා තිබෙනවා. ඔබ මේ කතාව එක්ක එකඟද?

ඒ පෙරවදන දුටු මුල්ම මොහොතේ මගේ ඇස්වල කඳුළු පිරුණා. මගේ කවිය සම්බන්ධයෙන් ඒ හඳුන්වා දීම මට අදහාගන්නට බැරි වූ දෙයක්. මම දැනුවත්ව මගේ ලියවිලි තුළ එවැනි ප්‍රවේශයක් ගත්තා නෙවෙයි. නමුත් ළමා වියේ සිට ම ප්‍රේමය පදනම වූ ක්‍රිස්තියානි දර්ශනයේ සාරය මගෙ ජීවිතේට බලපෑම් කළා. එය මගේ ජීවිතයට අනන්‍ය වූ රිද්මයක් එකතු කළා. ළමා ක්‍රියාකාරී වීරයෝ, (ළ.ක්‍රි.වී.)  කියනළමයින් සඳහා කැපවුණු සාමුහික ක්‍රියාවලිය  තුළ දරුවන් වෙනුවෙන් කටයුතු කරද්දිත්, විමුක්ති දේව ධර්මය පිළිබඳව යම් හැදෑරීමක් කරමින් ඒ තුළ වැඩ කරද්දිත්, ලිවීමට හිත යොමු වෙද්දිත් ජේසු කියන විමුක්තිකාමි තරුණයාගේ ජීවිතයෙන් මෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් ඉගැන්වූ ‘‘ප්‍රේමය” මගේ ඇතුළාන්තයේ ගැඹුරින් සටහන් වෙලා තිබුණා. මගේ කවිය තුළ යම් ආකාරයකින් එය පිලිබිඹු වෙනවා වෙන්න පුළුවන්. එය හිතා මතා කළ දෙයක් නෙවි. නමුත් මහින්ද නාමල් සොයුරාගේ මේ පෙරවදන ඒ පිළිබඳව වඩා ගැඹුරින් හිතන්නත්, වඩා වගකීම් සහගත ප්‍රවේශයක් වෙත එළඹෙන්නටත් මා තුළ විශාල පෙළඹවීමක් ඇති කළා.

 

 ‘වරදකාරී හද රිදුමවගේ කවියක ඒ මාතෘකාවෙ සිටම පෙනෙන්න තියෙනවා ඔබ දෙමළ සමාජය ගැන දක්වන මානව හිතවාදී ආකල්පය.  දිගු කාලීන යුද්ධයක් විශාල ජනසංහාරයකින් අවසන් වුණු පසුව මෙවැනි දුක්ගන්නා කවි ලිවීමෙන් පමණක් හිත හදා ගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?

මේ හිත හදාගන්නට වගේම හිත බෙදාගන්නට ලියන කවි. ඒ කවිය සමාජගතවීමෙන් පසුව එක් හදවතක් හෝ වාර්ගික, ආගමික බෙදීම් අතික්‍රමණය කරලා මනුෂ්‍යත්වයේ ඇසින් ලෝකය දිහා බලන්නට පෙළඹෙනවනම් එය වටිනවා. යුද්ධය පවතින කාලයෙදිත්, ඉන්පසුවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එක්ක විශේෂයෙන් දරුවන් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබිල තියෙනවා. ඒ හරහා ලැබුණු කම්පනීය අත්දැකීම් ලියවිලි හරහාත්, කවි හරහාත්, වැඩමුළු හරහාත් දකුණ සමඟ යම්තරමකින් බෙදාහදාගන්නට ඉඩ ලැබුණා.

නමුත් කවි ලියා හිත හදාගැනීමෙන් පමණක් සැබෑ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නෙ නැහැ. යුක්තිය සාධාරණත්වය ඉටුවෙන්නෙ නැහැ. මගේ කවිය මෙතනදි හරිම දුප්පත්.පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවෙ දෙමළ ජනතාව ආණ්ඩු වෙනසක් වෙනුවෙන් වැඩ කළ විදිය, කැප වුණු විදිය අපි අත්දැක්කා. ඒ යුක්තිය ඉටුවන, නිදහස්, සාමකාමී ජීවිතයක් ගැන බොහෝ අපේක්ෂා පෙරදැරිව. ඒ ජනතාව තැබූ බලාපොරොත්තු තවමත් ඉටුනොවූ තත්ත්වයක් තුළ අර පශ්චාත්තාපී හද රිදුම තවම එහෙමම යි. කවි ලිවීමෙන් හිත හදාගෙන නිහඬව සිටිය යුතුයි කියල මම හිතන්නෙ නැහැ.

දෙමළ සමාජය ගැන විතරක්ම නෙවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් මේ කවුරු වුණත් පීඩාවට පත්වෙන මිනිසුන් ගැන, සොබාදහම ගැන, සාහිත්‍ය කලාවන් ගැනරිදුමක්, කම්පනයක් මා තුළ තියෙනවා. එය මගෙ ලිවීම් තුළින් මතුකරන්න මං කැමතියි. ඒ හිත හදාගන්නටම නෙවෙයි, මානව හිතවාදී, පරිසර හිතවාදී යහපත් හෙට දවසක් ගැන අපේක්ෂාව සමාජය ඉදිරියට පමුණුවන්නත් එක්කයි.

 

ඔබ තරුරසී නමින් සයිබර් අවකාශයේ ජනප්‍රිය චරිතයක්. මෑතක පැවැත්වුණු සයිබර් සාහිත්‍ය උළෙලෙදි පවා ඔබේ නිර්මාණ ඇගැයිමට ලක්වුණා.  ඔබට සයිබරයත් එකක් තියෙන්නෙ කොහොම ගනුදෙනුවක්ද? සයිබරයෙන් ලැබෙන්නෙ කොහොම පන්නරයක්ද?

සයිබර් අවකාශයේ මම ජනප්‍රිය චරිතයක් කියල මට නම් හිතෙන්නෙ නැහැ. නමුත් ලියන්නියක් විදියට සමාජගත වෙන්න සයිබර් අවකාශය මට විශාල සහයෝගයක් ලබා දුන්නා. පුංචි කාලෙ ඉඳන්ම ලිව්වට ඒ ලියන දේවල් පත්තරවල හෝ පළ කරගන්න උනන්දු වුණ කෙනෙක් නෙවෙයි මම. ලිවීමට වඩා මගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ගෙවුණේ වැඩ එක්ක. ළමා ව්‍යාපාරය එක්ක වැඩ කරද්දි ළමයින් වෙනුවෙන්, නව යොවුන් අනුශාසකවරුන් වෙනුවෙන් ළමා පුවත්පතක්, සඟරාවක් සංස්කරණය කරමින් ඒවායෙ දිගටම ලිව්වත් ඒවා බාහිර සමාජයට ආවෙ නැහැ. කිතුසර, භක්ති ප්‍රබෝධනය වගේ ආගමික පසුබිමක් තියෙන පුවත්පත් සඟරාවලට ලිව්වත් එයත් සීමිත පාඨක පිරිසක් අතරටයි ගියේ.

‘‘තරුරසී‘‘ බ්ලොග් අඩවිය තමයි එහෙම සීමාවෙලා තිබුණ මගේ ලිවීම වෙනස් මානයකට අරන් ගියේ. සාහිත්‍ය ලොවේ ප්‍රවීණයන් දැන හඳුනාගන්නටත්, ඒ හරහා මගේ ලේඛන ජීවිතයට ගුරුහරුකම් ලබා ගන්නත්, ලිවීම ගැන ආත්ම විශ්වාසය ගොඩනැගෙන්නත් සයිබර් අවකාශය පන්නරයක් වුණා. මගේ කවි පොත එළිදකින මොහොත වෙද්දි මාව කියවන සහෘද සමාජයක් මං වටේ ගොඩනැගිල තිබුණා.‘‘තරුරසී”මගේ ජීවිතය අලුත් කළා. ඒක එහෙම වුණත් සයිබර් අවකාශය ජීවිතයම කරගැනීමේ උවමනාවක් මට නෑ. එයට සීමා නොවී නිදහස්ව, නිස්කලංකව ජීවිතය විඳින්න මං කැමතියි.

 

සංවාදය – වී. නිමේෂ්

art@radiogagana.com

 

Related posts

Comments are closed.

Top