එෆ් සි අයි ඩී එක දේශපාලන සතුරන් දඩයම් කරන ස්ථානයක් බවට පත්වෙලා : අනුර කුමාර

Anurakumara

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන සතුරන් දඩයම් කරන ස්ථානයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

බදාදා (01දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවට පක්ෂපාතිත්වය දක්වන පුද්ගලයන්ගේ පරීක්ෂණ යට ගසා ආණ්ඩුවට එරෙහි වන්නන්ට එරෙහිව ක්‍රියා කරමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය දේශපාලන අවශ්‍යතා සපුරාලන තත්ත්වයකට පත්ව ඇති බවයි.

එසේම හිටපු ජනාධිපති ශිරන්ති රාජපක්ෂව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා පැවැත්වූ බවට හෙලිකළ අනුර කුමාර දිසානායක දෙපාර්ශවයේ අවශ්‍ය පුද්ගලයන් රැක ගැනීමට හිටපු ආණ්ඩුවත් පවතින ආණ්ඩුවත් කටයුතු කරන බව ට චෝදනා කළේය.

ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යමින් තිබෙන බවත්, මේ නිසා ශිෂ්ටසම්පන්න සමාජ ආර්ථික වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

අශිෂ්ට පාලනය අවසන් කර ශිෂ්ටපාලනයක් ඇතිකර ගැනීම සඳහා ජනතාව ඡන්දය ලබාදුන්නද, රට අශිෂ්ටත්වය කරා රැගෙන යමින් තිබෙන බවත් මේ නිසා ශිෂ්ටසම්පන්න පාලනයක් බලාපොරොත්තු වන ජනතාව එය ඕපපාතිකව ලැබෙන තෙක් බලා නොසිට, ශිෂ්ටසම්පන්න පාලනයක් වෙනුවෙන් සියලුම දෙනා පෙළගැසිය යුතු බවද ඔහු පවසා සිටියේය.

Related posts

Comments are closed.

Top