ලොව පාළුම ගුවන්තොට මත්තල යැයි ‘ෆෝබ්ස් ’ සඟරාව ලොවටම කියයි.

IMG_5690-0

තමන්ගේ ගුවන්යානය අපේක්ෂවෙන් කිසිවකුත් නොඑන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොට මේ වන විට මුළුමනින්ම අභාවයට ගොස් ඇති බවත්, එය අවට අභය භූමි බැලීමට එන සංචාරකයන්ගේ නැරඹුම් පොලක් පමණක් බව ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පවසයි.

දෙසතියකට වරක් පළවන සුප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාවට, සංචාරක මාධ්‍යවේදී වේඩ් ෂෙපර්ඩ් විසින් ලියැවුණු  විශේෂාංගය ඇරඹන්නේ මෙලෙසිනි.

”මා මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටට සැපත් වූයේ එහි මගී පර්යන්තය අබියස රොද බැඳ සිටින සංචාරක මුළුවක් සොයමිනි. හිස්ව ගිය ගුවන්තොටුපලක් බැහැදකින්නට උවමනා ඇයිදැයි මම ඔවුන්ගෙන් විමසුවෙමි.

”ඇත්තවශයෙන් මේක රමණීය ගොඩනැඟිල්ලක්.” ඔවුන් අතරින් කෙනෙක් මට කීවේ අවංකවම ය.

ඔහු මෙම ලිපිය තමන්ගේ සජීවී අත්දැකීමක් සේ ගොනුකරයි.  ඔහු සහභාගීත්ව නිරීක්ෂණයෙහි යෙදෙමින් තවදුරටත් මෙසේ ලියයි.

ප්‍රධාන දොරටුවෙන් ඇතුළට

”කොළඹ සිට කිලෝමීටර 250ක ඔබ්බෙහි, වන ගහණ අඩවියක පිහිටා ඇති, ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ඉම්ගලක් බඳු මෙම ගුවන්තොට එහි අභිවෘද්ධියෙහි සලකුණකි; වර්ග මීටර 1200ක පර්යන්ත ගොඩනැඟිල්ලකින්ද, මගී සුපරීක්ෂණ කවුන්ටර 12කින්ද, ද්වාර දෙකකින්ද, සුවිසල්ම ජෙට් යානා ධාවනයෙහි ධාරිතාව ඇති ගුවන් යානා ධාවන පථයකින්ද යුත්  වාර්ෂිකව මිලියනයක තරම් මගී ධාරිතාවක් මෙම ගුවන් තොටුපළ සතු ය.

checkin

මම ඇතුළු වීමේ සොච්චම ගෙවා ප්‍රධාන දොරටුව හරහා ඇවිද ගියෙමි. ස්වභාවිකවම ආලෝකමත් වුණු සුවිසල් වීදුරු කවුළු ඇති උත්තුංග ශාලාව විසින් මා කැඳවනු ලැබුයේ, පර්යන්තයේ හෘදය බඳු නිශ්චිත අවකාශයේ ස්ථානගත කර තිබුණු යෝධ ‘ග්වාන්යින්‘ මහා කරුණවේ බෝධිසත්ව පිළිමය දෙසට ය.

මා ඇවිදිමින් සිටියදී මගේ පා හඬ ගොඩනැඟිල්ල පුරා නිනද නංවන්නට විය. ගුවන් ගමන් නිවේදන නැත; සෙලියුලර් දුරකථන බාධා නැත; ටැක්සි රියැදුරන්ගේ මොර්ත දැමිලි නැත. කිසිම අමුත්තකු ඔබ මොබ නොයන උස් සීලිම් සහිත කොරිඩෝරයන් යට මා පමණකි.

අන් සියල්ල ජාත්‍යන්තර ගුවන් තොටක පැවතිය යුතු ගාම්භීර කමින් යුක්තය. තොරතුරු කුටිය තුළ තිතට ඇඳුම් ආයිත්තමින් හැඳි පැළඳි නිල කාර්ය මණ්ඩල ස්ත්‍රීන් තිදෙනකුගෙන් යුක්තය; ආරක්ෂකයන් ඔවුන්ගේ මුර කපොලු වල ය; බිම් මදින්නෝ පොළොව දිස්නය දමති; සමරු සාප්පු විවෘතය; කුඩා කැෆටේරියාවේ කෝකියා සහ අයකැමියා සුදානමිනි.  පේ වී සිටිය යුතු හේතුවක් නොපෙනුනත්, ගුවන්තොට පර්යන්තය මුළුමනින්ම සේවයට සුදානම් ය.”

”මහින්ද” ඉදිකිරීම් ඉරණම

ඉක්බිති කතාව ගලා යන්නේ මජර දේශපාලන ක්‍රියාවන්, මහා පරිමාන අධෝව්‍යුහ ව්‍යාපෘති, භූ දේශපාලනයේ බලපෑම,  දිග්ගැහුණු දූෂණය, චීන මැදිහත්වීම ආදිය පෙන්වා දෙමිනි.

තවද මෙම විශේෂාංග වාර්තාවේ මහින්ද රාජපක්ෂ වරාය මෙන්ම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යන විශාල මුදලක් වැයවුණු මෙගා ඉදිරිකිරීම් වලට අත්ව ඇති ඉරණමද උත්ප්‍රාසාත්මක ස්වරයකින් විවරණය කරයි.

wade-shepard4

ෆෝබ්ස් සඟරාවේ සංචාරක මාධ්‍යවේදී වේඩ් ෂෙපර්ඩ්

දශකයක් පුරා රට ආඥාදායක පාලනයකට යටත් කරගෙන සිටි හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පවුලේ අය සහ පවුලේ සමීපතයන් පාලනයට හවුල් කර ගනිමින් රට තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබූ බව ලියුම්කරු විවෘතව ලියයි.  මේ සියල්ල ලියා ඇත්තේ අහඹු ලෙස දැක ගන්නට ලැබුණු මත්තල ගුවන්තොටුපල පි‍ළිබඳ ගවේශනය කරනා සංචාරකයකුගේ දෘෂ්ටි කෝණයෙන් වීම ආකර්ශනීය  ස්වභාවයක් උසුලයි.

ආයෙත් චීන සල්ලි

සංචාරකයකු සුප්‍රකට ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවකට මත්තල ගැන මෙසේ පවසන අතරතුර ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ පනස් වැනි සමරුව වෙනුවෙන් කොළඹදී පැවැත්වුනු උත්සවයකට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසූයේ මත්තල ගුවන්තොට යළි නඟා සිටුවීමට වත්මන් රජය නැවත චීන රජය සමඟ සාකච්ඡා ඇරඹූ බව ය.

රනිල් වික්‍රමසිංහගේ ඉකුත් බෙයිජිං සංචාරයේ එක් අරමුණක් වූයේ චීන රජයට ගෙවන්නට ඇති ඩොලර් බිලියන අටක ණය පියවා ගැනීමට මත්තල ගුවන් තොට, නොරොච්චෝලේ බලාගාරය සහ හම්බන්තොට වරාය චීනයට පවරා දීම ගැන තින්දුවක් ගැනීමට බව දැනගන්නට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසා තිබුණි.

Related posts

Comments are closed.

Top