සාමාන්‍ය දෙමළ ජනතාව වෙඩි පහරට මැදිවූ බව අගමැති පිළිගනී

Vanni war dead

විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසාන අදියරේදී සාමාන්‍ය ජනතාව වෙඩි පහරට මැදිවූ බව ශ්‍රී ලංකාවේ රජය පළමු වතාවට පිළිගෙන තිබේ.

“ලෝකයේ ඕනෑම තැනක සිද්ධවන ආකාරයෙන් සාමාන්‍ය ජනතාව වෙඩි පාරට කොටුවීම ස්වාභාවිකයි. එවැනි සිදුවීම් තිබේ නම් අපි ඒ ගැන සොයා බලනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ 8 සඳුදා පාර්ලිමේන්තුව අමතා කියා සිටියේ විපක්ෂයේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

යුද්ධයේ අවසාන භාගයේදී බර අවි භාවිතා කිරීම නිසා පීඩාවටත් ශ්වසන රෝගාබාධ වලටත් ලක්වූ ජනතාව සම්බන්ධයෙන් රජය කවර පියවරක් ගන්නේදැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් අගමැති වරයා එම ප්‍රකාශය කළේය.

හත් අවුරුද්දකට පසුත්

යුද්ධයේ අවසානය රජය විසින් ප්‍රකාශයට පත් කර හත් අවුරුද්දක් ගතවී ඇති අද දිනයේත් වව්නියාව රෝහලේ ශල්‍යකර්මයකින් ශිෂ්‍යයකුගේ සිරුරේ තිබු අවි කැබෙල්ලක් ඉවත් කළ බව කී වන්නි මන්ත්‍රීවරයා යුද ප්‍රහාරයේ උන්ඩ කැබලි ඇඟට කාවැදුණු දූ දරුවන් ඇතුළු දහස් ගණනක් තවමත් වන්නියේ දිවි ගෙවන බව පාර්ලිමේන්තුව හමුවේ හෙළි කළේය.

ඒ පිලිබඳ කිසිදු නිල වාර්තාවක් තමන් වෙත ලැබී නැති බව පැවසු අගමැතිවරයා නැවත පදිංචිය හා පුනරුත්ථාපනය භාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන්ට සෞක්‍ය අමාත්‍යාංශය හා සාකච්ඡා කොට  ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට උපදෙස් දෙන බව කියා සිටියේය.

දෙජාස මන්ත්‍රීවරයා තම ප්‍රශ්නය මතු කොට ඇත්තේ සාලාව අවි ගබඩාවේ පිපිරීම් මාලාවෙන් අනතුරුව අවට ප්‍රදේශවාසීන් ‘යම් ශ්වසනාබාධ වලට’ ගොදුරු විය හැකි බවට අනතුරු ඇඟවීම් තිබියදීය.

පුපුරා ගිය සාලාව අවි ගබඩාවේ තිබු බර අවි පහර වැදීම නිසා කිලෝමීටර කිහිපයක් එපිට දේපලට හානි සිදුවී තිබේ.

යුද්ධයේ අවසාන භාගයේදී බර අවි යොදා ගත් බව අගමැති වරයා විසින්  ප්‍රතික්ෂේප කොට නැත.

හැත්තෑ දහසකට වැඩි ජනකායකට මරු කැඳවූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙනහැර දැක්වූ සංඛ්‍යාලේඛණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ රජය යුද්ධය හැඳින්වූයේ සාමාන්‍ය ජනතාවට හානි නොකළ ‘මානුෂික මෙහෙයුමක්’ ලෙසිනි.

Related posts

Comments are closed.

Top