යුද පීඩිතයන්ට යුක්තිය ඉටුකිරීම සඳහා මත විමසීම අරඹයි

Consultation SCRM

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත සම්බන්ධ මහජන මත විමසීම ආරම්භ වී ඇත.

අධිනීතිඥ  මනෝරි මුත්තෙට්ටුවගම ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් එම කාරිය අරඹා ඇත්තේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ දීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 2015 සැප්තැම්බර් සැසිවාරයේදී රජය සමග හවුලේ ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාවේ එන යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම උදෙසා දිවයින පුරා මත විමසන අතර ජනතාවට අන්තර්ජාලය මගින්ද තම අදහස් දැක්විය හැකි බව කාර්ය සාධක බලකාය පවසයි.

විශේෂ නීතිඥවරයෙකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත ඇති වීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා කොමිසමක්, පීඩිතයන්ට සහන සැලසීම සඳහා කාර්යාලයක් සහ අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීම රජයේ සැලසුමයි.

මේ අතරින් රජය විසින් ස්ථාපිත කර ඇති අතුරුදහන් වූවන් වෙනුවෙන් වන කාර්යාලය (OMP)  දැනටමත් මතබේද වලට මුහුණ දී සිටී.

මහජන මත විමසීම  විපතට පත් වූවන් මුල් කර ගනිමින් සිදු වන්නක් බවයි කාර්ය සාධක බලකාය පවසන්නේ.

ආරක්ෂාව සැලසීම

සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණකාර්ය සාධක බලකායේ උපදෙස් අනූව මත විමසුම සඳහා සහභාගී වන්නන් තම අදහස් දක්වන කාලය තුලත්  ඉන් පසුවත් ආරක්ෂාව සහ සුදුසු වටපිටාවක් සැපයීමට ඇති රජයේ කැපවීම තහවුරු කිරීම ද කාර්ය සාධක බලකාය තම ‘මාර්ගෝපදේශ මූලධර්මයක්’ ලෙස දක්වා සිටී.

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණි වියන්ගොඩ, කේ ඩබ් ජනරංජන, මහාචාර්ය දයා සෝමසුන්දරම්, විශාකා ධර්මදාස, ශාන්තා අභිමානසිංහම්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ගමීලා සමරසිංහ සහ මිරාක් රහීම් ගෙන් කාර්ය සාධක බලකාය සමන්විත වෙයි.

Related posts

Comments are closed.

Top