ගම් බිම් අහිමි වී 26 වසරක් ගතවීත් දහස් ගණනකට උන් හිටි තැන් නෑ

සේයා - ලංකා ඩී ජයවර්ධන

සේයා – ලංකා ඩී ජයවර්ධන

යුද්ධයෙන් මුල්ම වතාවට තම ගම් බිම් අහිමිවූ දා සිට විසි හය අවුරුද්දක් ගෙවෙන අද දින යාපනයේ සිය ගණනක් තමනට ආපසු මුල් ඉඩම් වලට යෑමට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අධිෂ්ඨාන පූජාවක් පවත්වා තිබේ.

යාපනය තෙල්ලිපලෙයි කාලි කෝවිල සුද්ධ පවිත්‍ර කරමින් 15 බදාදා එම පුජාව පවත්වා ඇත්තේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉඩම් අහිමිවී සිටින ජනතාවයි.

අද එම ඉඩම් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් රජයේ හමුදා විසින් අත් පත් කරගෙන සිටීම නිසා මුල් පදිංචි කරුවන්ට කඳවුරු ගතව වාසය කිරීමට බල කොට ඇති බව ඉඩම් අහිමි වුවන් එක්ව පිහිටුවාගෙන ඇති බහුජන සංවිධාන පෙන්වා දෙයි.

ra(1)_CI

පලාලි, මයිලට්ටි, ඌරනී, කන්සකන්තුරෙයි සහ කයිට්ස් යන ප්‍රදේශවල දස දහසකට අධික පිරිසකට තවමත්  තම මුල් ගම් බිම් අහිමිව සිටින බව ගගන හා කියා සිටි වලිකාමම් උතුර ඉඩම් අහිමිවුවන්ගේ සංගමයේ සභාපති ඒ. ගුණපාලසිංහම් පෙන්වා දෙන්නේ එයින් 1500 ක පිරිසක් මේ වන විටත් කදවුරු තුළ ජීවත් වන අතර  ඉතිරි 8500 දෙනකු සිය නෑදෑයන් නිවෙස් තුල ජීවත් වන බවයි.

බොහෝ විට එම පිරිස දස දහස ඉක්මවිය හැකි බව පවසන ඔහු හැඟුම් බරව කියා සිටියේ හෙටින් ඇරඹෙන්නේ එම ජනතාවට තම ඉඩම් අහිමිව ගතවන 27 වන වසර බවයි.

Suppayamadam

ජනපති පොරොන්දු

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ උතුරට පැමිණි ජනාධිපතිවරයා හමුදාව යටතේ පවතින ඉඩම්  මාස හයක් ඇතුලත නිදහස් කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළත්  ඒ. ගුණපාලසිංහම්  පවසන්නේ හත් මසක් ගතවීත්  රජය ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

යාපනය නගර සභා ශාලාවේ ඉකුත් වසරේ පැවති රාජ්‍ය නත්තල් උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ නත්තල සැමරීමට යාපනයට පැමිණි තමන් විසිපස් වසරක් තිස්සේ උන්හිටි තැන් අහිමිව සිටින ජනතාව හමුවී කතා බස් කරන්නට නොදන්වාම අනාථ කඳවුරකට ගිය අවස්ථාවේ මුල් ගම් බිම් වලට ආපසු යාම සදහා අවස්ථාව ලබා දෙන ලෙස සැම දෙනාම ඉල්ලා සිටි බවයි.

 

Jaffna-xmas-2015-IDP-camp

 

ගම් බිම් අහිමි  ජනතාවගේ ප්‍රශ්නය ඉදිරි මාස හය ඇතුලත විසඳීම  සඳහා දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුලත් හදිසි කාර්ය සාධන බලකායක් පත් කරන බවට ද ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වි තිබුණි.

නමුත් උතුරේ ජනතාව පවසන්නේ ජනාධිපතිවරයා එම පොරොන්දු ඉටු කිරීමට මේ වන තෙක් අසමත්ව ඇති බවයි.

සුදු කොඩි

ආණ්ඩුව ඉඩම් ආපසු නොදෙන්නේ නම් තම මුල් ගම් යටකොට ඉදිකර ඇති අධි ආරක්ෂක කලාපයට සුදු කොඩි සහ ඉඩම් ඔප්පු රැගෙන සාමකාමීව ඇතුලු වන්නට අදහස් කරන බව වලිකාමම් උතුර නැවත පදිංචි කිරීමේ කමිටුව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

“අපි අපේ ඉවසීමේ සීමාවටම පැමිණ සිටිමු,” යි එහි වැඩිදුරටත් සඳහන් වේ.

දෙමළ වැසියන් සතු මුල් ගම් බිම් වල ශ්‍රී ලංකා රජයේ යුද හමුදාව වාඩි ලා  සිටින යාපනයේ පමණක් යුද අනාථයන් පන් දහසකට අධික පිරිසක් අනාථ කදවුරු 41 ක් තුළ ජීවත් වන බව  ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය පසුගිය සැප්තැම්බරයේ හෙළි කොට තිබුනි.

 

 

Related posts

Comments are closed.

Top