‘ගොඩට එන්න දෙන්න, නැතිනම් වෙඩි තියන්න’ දෙමළ යාත්‍රිකයෝ ඉන්දුනීසියානු පොලිසියට කියති |VIDEO

Indonesia tamil boat aceh

ඉන්දුනීසියානු වෙරළ තීරයේ අතරමං වූ යාත්‍රාවක ඉන්නා කාන්තාවන් හා දරුවන් ඇතුළු ලාංකික දෙමළ පිරිස ගොඩබිමට පැමිණීමට වීරිය දරන විට පොලිසිය වෙඩි තබා බිය ගන්වා පලවා හැරීම මානව හිමිකම් සංවිධාන වල දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

“ගොඩ බසින්නට දෙන්න, නැතිනම් වෙඩි තියන්න,” යි ගොඩබිමට ඒම වලක්වන ලද කාන්තාවක් හැඟුම් බරව පවසන අයුරු ඔස්ට්‍රේලියාව මුලස්ථාන කොටගත් ෆෙයාෆැක්ස් මීඩියා මාධ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කළ වීඩියෝ පටයක දැක්වේ.

හය දිනක් තිස්සේ අචේ ප්‍රාන්තයේ වෙරළ තීරයේ අතරමං වී සිටින ගැබිණි මාතාවක්ද ඇතුළු හතළිහකට අධික පිරිස රැගත් යාත්‍රාව බලධාරීන් විසින් නැවතත් දියඹට තල්ලු කරමින් සිටින බව අචේ ප්‍රාන්තය මූලස්ථාන කොටගත් ගොයිතන්‍යෝ පදනම පවසයි.

පොරොන්දු කඩ කරලා

ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී අතරමං වූ දෙමළ යාත්‍රිකයන්ට ගොඩ බැසීමට අවසර දෙන ලෙස බෝට්ටුවට ගොස් ඔවුන් මුණගැසුණු උප ජනාධිපති යුසුෆ් කල්ලා දුන් පොරොන්දුවද උල්ලංඝනය වී ඇතැයි  ගොයිතන්‍යෝ පදනමේ  ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා ලිලියන් ෆෑන් මාධ්‍යවේදීන්ට කියා සිටියාය.

යාත්‍රිකයන් පිරිස ශ්‍රී ලාංකිකයන් බව ආගමන විගමන බලධාරීන් විසින් ඉන්දුනීසියානු මාධ්‍යවේදීන්ට තහවුරු කොට තිබු අතර අචේ පොලිස් ප්‍රධානී හුසේන් හමීදී ප්‍රකාශ කළේ සිකුරාදා රාත්‍රියේ වඩදිය නගින විට බෝට්ටුව දියඹට ගෙනයන බවයි.

යාත්‍රාවට අවශ්‍ය ඉන්ධන සහ බෝට්ටුවේ පිරිසට ආහාරද්‍රව්‍ය හා ඖෂධ ලබාදී පිරිස ඉන්දුනීසියා මුහුදු තීරයෙන් පිටමං කරන බවයි ආගමන විගමන බලධාරීන් පවසන්නේ.

“එන්ජිම අලුත්වැඩියා කළ විගස අදම ඔවුන් මුහුදට යවන්නටයි අපේ සැලසුම,” යි අචේ ප්‍රාන්තයේ ආගමන විගමන ප්‍රධානී හෙරී සුදියර්තෝ බීබීසී යට පවසා තිබුනි.

ඉන්දුනීසියාව ඔවුන්ගේ ගමනාන්තය නොවන නිසා ගොඩ බැසීමට අවසර නොදෙන බවයි අචේ ප්‍රාන්ත ආණ්ඩුව කියා සිටින්නේ.

Indonesia shoot2

ලැජ්ජයි

“ඔස්ට්‍රේලියාවට යන ගමන අත් හිටුවා ආපසු තමන්ගේ රටට යන ලෙස අපි ඔවුන්ට උපදෙස් දුන්නා,” යි ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රකාශක ෆ්‍රාන්ස් ඩේලියාන් ප්‍රකාශ කළේය.

“මේ දෙමළ යාත්‍රිකයන්ට උදව් දීම ඉන්දුනීසියා රජයත් අචේ ප්‍රාන්ත ආණ්ඩුවත් ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජාවට කරුණක්,” බව ඉන්දුනීසියාව පිලිබඳ හියුමන් රයිට්ස් වොච් (HRW) පර්යේෂක අන්ද්‍රේයාස් හර්සොනෝ කියා සිටියේය.

ගැබිණි මාතාවක් සහ බාල දරු දැරියන් ගෙන්ද  සමන්විත ලාංකික දෙමළ කණ්ඩායම  මුහුදු මගින් 13 සඳුදා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්ත‍යට ළඟාවී ඇත්තේ ඔස්ට්‍රේලියාව බලා යාමට ප්‍රමාණවත් ඉන්ධන ඉල්ලා ආයාචනය කරමිනි.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස් කාර්යාල (UNHCR) නියෝජිතයන් හමුවීමේ අවසරය ලබා දී යාත්‍රික පිරිස භාරගන්නා ලෙස ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉන්දුනීසියානු රජයෙන් කළ ඉල්ලීම පල දී තිබුනේ නැත.

Related posts

Comments are closed.

Top