ආපසු මුහුදට යවන තුරු දෙමළ යාත්‍රිකයන් තාවකාලිකව ඉන්දුනීසියා ගොඩබිමට|VIDEO

Aceh Boat camp

මහ මුහුදේ අතරමංවී ඉන්දුනීසියා වෙරළට ආ බෝට්ටුවක සතියක් කල් ගත කළ දෙමළ පිරිස ආපසු යැවීමේ බලාපොරොත්තුවෙන් එරට බලධාරීන් තාවකාලික ගොඩ බැසීමේ අවසරයක් දී තිබේ.

අචේ වෙරළ තීරයේ තිබෙන බෝට්ටුවේ හිරවී ඉන්නා කාන්තාවන් සහ දරුවන් ඇතුළු හතළිහකට අධික සංක්‍රමණික කණ්ඩායමට ගොඩ බිමට ඒමට ඉඩ දෙන ලෙස මතුවූ ජාත්‍යන්තර බලපෑම හමුවේ 18 සෙනසුරාදා ගොඩ බැසීමේ අවසරය ලබාදුන්නත්, ඉන්දුනීසියානු බලධාරීන් පවසන්නේ යාත්‍රිකයන් ආපසු මුහුදටම යැවීම තමන්ගේ සැලසුම බවයි.

නාවික හමුදා, පොලිස් සහ ප්‍රජා ආරක්ෂක භටයන්ගේ දැඩි ආරක්ෂාව යටතේ යාත්‍රාවේ සිට මීටර පනහක් පමණ දුරින් පිහිටි කූඩාරමක රඳවා සිටින ඔවුන් මුණ ගැසීමට ගිය මන්ත්‍රීවරයකු කියා සිටියේ දෙමළ පිරිස ආපසු ශ්‍රී ලංකාවට යැවීම ඉන්දුනීසියානු බලධාරීන්ගේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා  

“අපි උත්සාහ කරන්නේ සංක්‍රමණිකයන් ලියාපදිංචි කර ඔවුන්ගේ ඉරණම තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය සමග සාකච්ඡා කරන්නයි,” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් ජමිල් කියා සිටියේය.

අචේ ප්‍රාන්තයේ ආගමන විගමන නිලධාරී අච්මඩ් සමදාන් මාධ්‍යවේදීන්ට කියා තිබුනේ යාන්ත්‍රික දෝෂයක් සහිත බෝට්ටුව අලුත් වැඩියා කළ විගස යාත්‍රිකයන් පිරිස බෝට්ටුවට නංවා දියඹට ගෙන යනු ඇති බවයි.

බැකෝ යන්ත්‍ර යොදාගෙන සිකුරාදා රාත්‍රියේ යාත්‍රාව මුහුදට තල්ලු කිරීමට බලධාරීන් ගත් උත්සාහය සාර්ථක වී නැත.

කුඩාරමේ ඉන්නා අය තමන් ආපසු නොයවන ලෙස ඔවුන් හමුවට පැමිණි මන්ත්‍රීවරයාගෙන් හඬා වැලපෙමින් ඉල්ලා සිටින අයුරු මාධ්‍යවේදීන්ගේ වීඩියෝ දර්ශන වල සටහන් වී තිබේ.

Aceh Boat Navy

UNHCR

බෝට්ටුව ගොඩබට වෙරළට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට සංක්‍රමණිකයන් පිරිස හමුවීමට මේතාක් කල් බලධාරීන්ගේ අවසර ලැබී නැත.

සංක්‍රමණිකයන්ට ගොඩට ඒමට දුන් අවසරය පිළිබඳව සතුට පලකළ අචේ ප්‍රාන්තය මූලස්ථාන කොටගත් ගොයිතන්‍යෝ පදනමේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා ලිලියන් ෆෑන් පැවසුවේ එම පිරිස හමුවීමට සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාල UNHCR නියෝජිතයන්ට වහාම  අවස්ථාව සලසා දිය යුතු බවයි.

සංක්‍රමණික පිරිසට ගොඩබිමට ඒමට නොදීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලන බවට ඇම්නස්ටි ජාත්‍යන්තරය ඉන්දුනීසියානු බලධාරීන් දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

තම අනාගතය පිළිබඳ අවිනිශ්චිත භාවයෙන් යුත් සංක්‍රමණිකයන් මාධ්‍යවේදීන්ට පැවසුවේ ඉන්දුනීසියානු බලධාරීන් ගොඩබිම ජීවත් වීමේ අවසරය නොදෙන්නේ නම් ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කිරීමේ අපේක්ෂාව අත් නොහරින බවයි.

Related posts

Comments are closed.

Top