ගොඩබිමට ආ දෙමළ පිරිස මුදට තල්ලු කිරීමේ වෑයම එලෙසමයි

Indonesia Aceh Tamil refugees

වෙරළට පාව ඒමෙන් පසු ගොඩබිමට තාවකාලිකව පැමිණීමේ ඉඩක් ලද දෙමළ සංක්‍රමණික පිරිස හමුවීමෙන් සහනාධාර ආයතන වලක්වා තිබෙන ඉන්දුනීසියා රජය ඔවුන් පැමිණි යාත්‍රාව මුහුදට තල්ලු කිරීමේ වෑයම අත් හිටුවා නැති බව මානව හිමිකම් සංවිධාන පවසයි.

ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ වෙරළබඩ ලෝක්න්ගා (Lhoknga) නගරයට ගොඩබට සෙනසුරාදා  පටන්  කුඩාරම් ගතව සිටින කාන්තාවන් සහ දරුවන් ඇතුළු 44 දෙනකු හමුවට යාමට සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) ඇතුළු සහන සේවා නියෝජිතයන්ට අවසර ලැබී නැති බව අචේ ප්‍රාන්තය මූලස්ථාන කොටගත් ගොයිතන්‍යෝ පදනම පවසයි.

“ජගත් සරණාගත දිනය යෙදී තිබෙන ජූනි 20 දා අපි නැවතත් ඉන්දුනීසියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අචේ ප්‍රාන්තයට පැමිණ සිටින දේශපාලන රැකවල් පතන දෙමළ පිරිස කිසිම බාධාවකින් තොරව වහාම මුණ ගැසීමේ අවසරය UNHCR සංවිධානයට සලසා දෙන ලෙසයි,” යනුවෙන් පදනමේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා ලිලියන් ෆෑන් ගගන හා පැවසුවාය.

අචේ ප්‍රාන්ත බලධාරීන් බෝට්ටුවේ පැමිණි පිරිස භාර ගැනීමට සුදානම් නමුත් ඉන්දුනීසියා මධ්‍යම රජය ඊට හරස්ව සිටින බවයි ඇය කියා සිටියේ.

යාත්‍රාවේ සිටින බොහෝ දෙනා අත තමිල්නාඩු රජය විසින් නිකුත් කරන ලද සරණාගත හැඳිනුම්පත් තිබෙන බවද ලිලියන් ෆෑන් වැඩිදුරටත් පැවසුවාය.

Related posts

Comments are closed.

Top