ඉන්දුනීසියාවට ගොඩබට දෙමළ පිරිස ‘ආපසු  මුහුදට යැවීමේ ඉඩක් නෑ’

indonesia tamil IOM

ගොඩබිමට පැමිණීමේ තාවකාලික අවසරයක් ලද දෙමළ යාත්‍රිකයන් ආ බෝට්ටුව වැල්ලේ හිරවී අබලන්ව තිබීම නිසා ඔවුන් නැවත මුහුදට යැවීමේ අනතුර පහව ගොස් ඇතැයි එක්සත් ජාතීන් ඇතුළු මානව හිමිකම් සංවිධාන විශ්වාසය පළ කරන මුත්, එම පිරිස පිටුවහල් කිරීම සඳහා ගමන් බලපත් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේත් ආණ්ඩු සමග සාකච්ඡා කරමින් සිටින බව ඉන්දුනීසියා බලධාරීන් පවසා තිබේ.

අචේ ප්‍රාන්තයේ ලෝක්න්ගා (Lhoknga) වෙරළේදී සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM)  කාර්ය මණ්ඩල වලට දෙමළ කණ්ඩායමේ නියෝජිතයන් හමුවීමට 21 අඟහරුවාදා මුල්ම වතාවට සීමිත අවසරයක් ලැබුණි.

UNHCR සංවිධානය මෙන්ම බෝට්ටුවේ පැමිණි 44 දෙනා සම්බන්ධයෙන් ඉකුත් දින දහය තිස්සේ සොයා බැලූ ගොයිතන්‍යෝ පදනම ගගන හා කියා සිටියේ ඉන්දුනීසියා රජය යාත්‍රිකයන් නැවත මහ මුහුදට  යැවීමේ අවදානම අඩු වී ඇති බවයි.

ගමන් බලපත්‍ර

බෝට්ටුව නැවත යාත්‍රා කළ හැකි තත්වයක නොපවතින බව ඉන්දුනීසියා බලධාරීන්ද තහවුරු කොට ඇත.

“ඒ බෝට්ටුව අලුත් වැඩියා කිරීමේ හැකියාවක් තවදුරටත් නෑ,” යි ඉන්දුනීසියා ආගමන විගමන අධිකාරියේ ප්‍රකාශක හෙරු සන්තෝසෝ මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.

කෙසේ වෙතත්, යාත්‍රික පිරිසගේ අනන්‍යතාවය තහවුරු කොට ආපසු යාමට ගමන් බලපත්‍ර ලබා දීමේ හැකියාව පිළිබඳව ඉන්දීය සහ ශ්‍රී ලාංකික බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

indonesia tamil boat aceh

දේශපාලන රැකවරණ

දැනට වෙරළේ කුඩාරම් වල දිවි ගෙවන දෙමළ කණ්ඩායම වඩා සුරක්ෂිත ස්ථානයකට ගෙන ගිය හොත් ඔවුන්ගේ අනාගතය පිලිබඳ වඩාත් නිවැරදි තක්සේරුවක් කිරීමේ හැකියාවක් ලැබෙන බව ඉන්දුනීසියාවේ UNHCR නියෝජිතයා කියා සිටී.

“අපට ඉඩ ලැබුනේ ඉතා කෙටි වෙලාවකට නියෝජිතයන් කිහිප දෙනකු වෙරළේදී මුණ ගැසීමට පමණයි. සියලු දෙනාම වෙන් වෙන්ව හමුවීමේ අවස්ථාවක් නොලද නිසා ඔවුන්ගේ තත්වය හරියාකාර අපට දැන ගන්නට විදියක් නෑ,” යි UNHCR නියෝජිත තෝමස් වර්ගාස් ගගන හා පැවසීය.

දෙමළ යාත්‍රික පිරිස ඉන්දුනීසියාවේ රඳවා ගෙන ඔවුන්ට දේශපාලන රැකවරණ ලබා දීමේ ඉඩකඩ සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේ අචේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා සහ නියෝජ්‍ය ආණ්ඩුකාරයා මුණ ගැසෙන බව ගොයිතන්‍යෝ පදනමේ ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා ලිලියන් ෆෑන් ගගන හා කියා සිටියාය.

ඉදිරි දින හා සති කීපය තුලදී දෙමළ කණ්ඩායමේ අවශ්‍යතා සොයාබලා ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගන්නා බව IOM සංවිධානය පවසා තිබේ.

Related posts

Comments are closed.

Top