මා මැතිසබේට යවන්න ‘නිරර්ථක ආයාචනා’ එපා – රෝසි

 

Rosy

තමන් නැවතත් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස නො ඉල්ලන මෙන් මැතිසබයට පත්වීම සඳහා ප්‍රමාණවත් මනාප නොලද රෝසි සේනානායක ඉල්ලා සිටී.

පක්ෂ නායකත්වයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට පත් කර යවන ලෙස ඉල්ලා සිටීමේ සුදානමක් ගැන දැන ගන්නට ලැබී ඇති බව පවසන රෝසි සේනානායක එම ඉල්ලීම් හඳුන්වා ඇත්තේ  ‘නිරර්ථක ආයාචනා’ ලෙසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනමාධ්‍ය අංශය ඔස්සේ  නිවේදනයක් නිකුත් කරන හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප නැවත ගණන් කරන ලෙස ඉල්ලීමක් කරන බවය.

එම නිත්‍යානුකුල පියවර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අවසරය ඇතිව ගන්නා බව ඇය සඳහන් කරයි.

පක්ෂ ප්‍රතිපත්තිය

මහා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය ජයගත්  එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මන්ත්‍රීවරු එකොලොස් දෙනෙක් තේරී පත් වුහ. මනාප 65,320ක් ලබාගත් රෝසි සේනානායකට හිමිවුයේ දොළොස් වැනි ස්ථානයයි.

‘පරාජිත අපේක්ෂකයන් ජාතික ලයිස්තුවෙන් ඇතුලත් කර නොගැනීමේ’ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය රැකීමට ‘අපි සියල්ල’ බැඳී ඉන්නා බව සඳුදා නිකුත් කෙරුණු ඇගේ නිවේදනයෙන් කියැවේ.

පුත්තලම් දිස්ත්‍රික්කය සඳහා තරග වැදී පරාජය වූ එම් එච් එම් නවාවී එක්සත් ජාතික පක්ෂයෙන් මේ වනවිට සිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර යවා තිබේ.

Related posts

Comments are closed.

Top