අතුරුදහන් ලංවිම කෝටි 300ක් තවම හොයනවා

 

ranjith-siyambalapitiya

ආදායම් අතින්ද විදුලිය සම්පාදනයෙන්ද අර්බුදයකට මුහුණ පා සිටින ලංකා විදුලි බල මණ්ඩලයේ  සේවක අරමුදලින් රුපියල් කෝටි 300 ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය තුළින් අතුරුදහන් වීම සම්බන්ධ පරික්‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂණ වහාම කඩිනම් කරන ලෙස අදාළ බලධාරින්ට දැනුම් දුන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඒ බව ප්‍ර‍කාශ කළේ විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්‍ඡාවකට එක් වෙමින් බවයි රජය පවසන්නේ.

පීපල්ස් ලීසිං

මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) ඉකුත් වසරේ අධිකරණයට දැනුම් දී තිබුනේ විදුලි බල මණ්ඩල විශ්‍රාම වැටුප් අරමුදලේ රුපියල් කෝටි 300ක් ආයෝජනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව යටතේ පවත්නා පීපල්ස් ලීසිං සමාගම විසින් රුපියල්  කෝටි හතකට වැඩි මුදලක් කොමිස් වශයෙන් ගෙවා ඇති බවයි.

විදුලි බල මණ්ඩල මුදල් ආයෝජනය කරවා ගැනීම සඳහා පීපල්ස් ලීසිං සමාගම 2008 සිට ඒජන්තයන් දෙදෙනකුට කොමිස් ගෙවූ බව මණ්ඩලයේ භාණ්ඩාගාර කටයුතු කළමණාකාරිනි දිස්නා කුමාරි රත්නායක FCID වෙත ලබා දුන් ප්‍රකාශයකින් තහවුරු කොට තිබුනි.

රාජ්‍ය බැංකුවක් යටතේ පවතින සමාගමක් විසින් කොමිස් මුදල් ගෙවීම පොදු දේපල පනත යටතේ අපරාධයක් බව FCID ය අධිකරණයට කරුනු දක්වා තිබේ.

2008 විදුලිබල හා බලශක්ති අමාත්‍ය වරයා ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්නයි.

පරීක්ෂණ දෙකක්

මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ සමහර ලිපි අතුරුදහන් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තමන් වෙනම අභ්‍යන්තර පරික්ෂණයක් පැවැත්වීම නියෝග කර තිබෙන බවත්  එසේම මේ වන විට අපරා‍ධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID වෙනම පරික්ෂණයක් පවත්වන බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ  වැඩි දුරටත් පවසා තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වූවන් ළඟදීම හෙලි කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ වැරදිකරුවන්ට  තරාතිරම නොබලා නිතිමය කටයුතු කරන බවයි.

ඉදිරියේ දි ලංවිම සේවක අර්ථසාධක අරමුදල සඳහා වෙනම භාරකාර මණ්ඩලයක් ස්ථාපිත කිරිමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා වැඩිදුරත් ප්‍ර‍කාශ කර තිබේ.

Related posts

Comments are closed.

Top