බැසිල් ඇතුලේ වුනත් ‘තවත් චුදිතයන් එළියේ’ |VIDEO

Basil Rajapaksa

දේශපාලන අවශ්‍යතා සඳහා රාජ්‍ය සම්පත් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු හිටපු  ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූවත් එම ගනුදෙණුව මගින් සැබෑ ලෙස මුල්‍ය වාසි ලැබූ බවට චෝදනා ලබන නිලධාරීන් සිව් දෙනකු තවමත් එම අමාත්‍යාංශයේම අවම වශයෙන් විනය පරීක්ෂණයකින් හෝ තොරව කටයුතු කරන බව මැතිවරණ නිරීක්ෂක සංවිධානයක් පවසයි.

ඒ සම්බන්ධයෙන්  සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කරන  කැෆේ සංවිධානය  ඉකුත් ජනාධිපතිවරණයේ පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ රුව සහිත බැනර් ප්‍ර‍දර්ශනය සදහා ජී අයි පයිප්ප මිලදී ගැනීම සඳහා එවකට දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කළ කිත්සිරි රණවක සිය අත් අකුරින් ලියූ ලිපියක් ද ඔහු වෙත යොමු කර තිබේ.

මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත්  මහින්ද රාජපක්ෂ සොයුරු  බැසිල් රාජපක්ෂ අගෝස්තු 01  දා  තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස  කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල නියෝග කර තිබේ.

කිත්සිරි රණවක

සිද්ධිය සම්බන්ධයෙන්  බැසිල් රාජපක්ෂට පමණක් නොව  හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවකට  ද බලය අයුතු ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වී ඇතත් එම ගණුදෙනුව පිටුපස සිට විවිධ වාසි ලැබූ පුද්ගලයන් තවමත් එම අමාත්‍යාංශයේ මුලික විමර්ශනයකින් හෝ තොරව සිටින බව පෙන්වා දෙන කැෆේ සංවිධානය සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න වෙත චෝදනා කරන්නේ  මේ දක්වාම එම නිළධාරීන්ගෙන් අවම වශයෙන් සාක්ෂි සටහන් කර ගැනීමක් හෝ සිදු කොට නොමැති බවයි.‍

එම  ගනුදෙනුවට  සම්බන්ධ බවට කරන ලද පැමිණිල්ලේ  ලිඛිතව නම් සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස  කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් 18 සඳුදා ලියා ඇති ලිපිය මගින් ඉල්ලා තිබේ.

ප්ලාස්ටික් බට මිලදී ගැනීමට දිවි නැගුම අරමුදල් යොදා ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව 18 සදුදා දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  විසින්  බැසිල්  රාජපක්ෂ  අත්අඩංගුවට ගෙන තිබුණි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ මීට ඉහතදී ද අත්අඩංගුවට ගන්නා ලද හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී ඔහු   ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය  නියෝග කර තිබුණි.

Related posts

Comments are closed.

Top