යාපනය සරසවි ගැටුමේ පාර්ශවකාරයන්ට ‘දැඩි දඬුවම්’ | VIDEO

Jaffna Uni

දාහතර දෙනකුට තුවාල සිදු කරමින් යාපනය සරසවිය තුල සති අන්තයේ ඇවිල ගිය ප්‍රචණ්ඩතාවට වග කිව යුතු සිසුන්ට එරෙහිව තදින් පියවර ගන්නා බව විශ්ව විද්‍යාල බලධාරීහු ප්‍රකාශ කරති.

ගැටුම් වලින් අනතුරුව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලය බදාදා වනවිට නැවත විවෘත කිරීමේ හැකියාව පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසන අතර යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු යථා තත්වයෙන් පවත්වාගෙන යාම සඳහා තමන් කළ හැකි දේ කරන බවයි.

යාපනය සරසවියට බැඳුනු නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක මේතාක් සාම්ප්‍රදායික ප්‍රමුඛතාව ලැබුණු  සංස්කෘතිකාංග වෙනස් කිරීමට ශිෂ්‍ය කණ්ඩායමක් උත්සාහ කිරීම සමග මතුවුණු ප්‍රතිවිරෝධතාව ප්‍රචන්ඩ තත්වයක් දක්වා දිග්ගැස්සුණු බවයි ශිෂ්‍ය සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

විද්‍යා පීඨයට නවක සිසුන් පිළිගැනීම සඳහා උත්සවයක් පැවැත්වෙද්දී කළා පීඨ සිසු කණ්ඩායමක් ගැටුම ඇවිලූ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ප්‍රධානී මහාචාර්ය මොහාන් ද සිල්වා පවසා තිබේ.

පොලිස් පරීක්ෂණයක් 

සාපේක්ෂ සාමකාමී පරිසරයක අධ්‍යයන කටයුතුවල යෙදෙන සරසවි සිසුන් අතර ගැටුම් ඇති කිරීමේ උවමනාවෙන් පෙලෙන දේශපාලන බලවේග ඇතැයි චෝදනා කරමින් ශිෂ්‍ය සංගම් සභාපති ටී සසිදරන් සහ ලේකම් එස් තනූජන් ගේ අත්සනින් ඉරිදා නිකුත් කර තිබු නිවේදනය එවන් විනාශකාරී සිදුවීම් වැලැක්වීමට තමන් කටයුතු කරන බවද පවසයි.

ගැටුම සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස උප කුලපතිනි මහාචාර්ය වසන්ති අරසරත්නම්ට උපදෙස් දී ඇති බව පවසන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා විශේෂ පොලිස් විමර්ශනයක්ද ආරම්භ කොට ඇතැයි ප්‍රකාශ කොට තිබේ.

යාපනය නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න විසින් පත් කර ඇති පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේ යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී බී ස්ටැනිස්ලාවුස් ය.

විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිසම සතුව ගැටුමේ රූප රාමු රැගත් වීඩියෝ පට ඇති බව පවසන මහාචාර්ය සිල්වා පරීක්ෂණ සඳහා එහි එන සාක්ෂි ද හවුල් කරගන්නා බව කියා සිටී.

jaffna uni 1

සරසවි ඇදුරන් 

පුරා දශක හතරකට ආසන්න කාලයක් සියලූ ශ‍්‍රී ලාංකිකයන් පීඩාවට පත්කළ කුරිරු යුද්ධයේ අත්දැකීම් අනාගතයේ යළි විඳගැනීමේ අපේක්ෂාවක් කිසිවෙකු තුළ නැති බව යාපනය සරසවි ගැටුම සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

“කවර කණ්ඩාමක් විසින් හෝ සිදුකරන වර්ගවාදී ක‍්‍රියාවන් පිළිබඳව අවදියෙන් සිටිමින් එකමුතුව ඊට එරෙහිව නැගී සිටින ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රජාවට ද සියලූ පුරවැසියන්ට ද අපි ආයාචනය කරන්නෙමු,” යි සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර සහ ලේකම් ආචාර්ය ශ්‍යාම් බන්නැහක ගේ   අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

 

Related posts

Comments are closed.

Top