ස්වර්ණ පුස්තක සංග්‍රාමය ඇරඹෙයි

Swarna Pusthaka_2016

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කෙරෙන 2016 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දිගු ලැයිස්තුගත කිරීම ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2015 වසරේ මුද්‍රණයෙන් පළවුණු නවකතා කෘති දොළහක් මේ සඳහා නම් කර ඇත.

ටෙනිසන් පෙරේරාගේ මහාරාවණ, සුනේත්‍රා රාජකරුණානායකගේ කොළඹයා සහ ෂැන්හයියා,  එරික් ඉලයප්ආරච්චිගේ පරදේසි, ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක, සමන් වික්‍රමආරච්චිගේ අසන්ධිමිත්තා, කපිල කුමාර කාලිංගගේ සැප්තැම්බරයේ දිග දවසක්, පී.බී. ජයසේකරගේ අවලමා සහ ඇහැටුව, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත, චන්ද්‍රරත්න බණ්ඩාරගේ වලාකුළු බැම්ම, නදී වාසලමුදලිආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්, සුමුදු නිරානි සෙනෙවිරත්නගේ දුල්වල අහන්කාරේ සහ එච්.බී. ගුණරත්නගේ හිතුවක්කාරී මෙම තෝරා ගැනුණු නවකතා කෘති දොළහයි.

මෙම නවකතාවරුවන් හා නවකතාකාරියන් අතරින් සුනේත්‍රා රාජකරුණානායක දෙවතාවක් ස්වර්ණ පුස්තක සම්මානය හිමිකරගෙන ඇත. ඇය 2009 වසරේ පොදු පුරුෂයා වෙනුවෙන් හා 2011 වසරේ කවිකඳුර වෙනුවෙනි. එසේම 2008 වසරේදී ඇයගේ සුබෝධාලංකාරය සහ 2010 වසරේ බුද්ධදාසී යන කෘති අවසනා කෘති පහ අතර තිබුණි.

ලියනගේ අමරකීර්ති 2014 වසරේ කුරුලු හදවත වෙනුවෙනුත් සම්මානය හිමිකරගත්තේ ය. ඔහුගේ අටවක පුත්තු 2008 වසරේ අවසන් කෘති පහ අතර තිබුණි.

ටෙනිසන් පෙරේරා, එරික් ඉලයප්පාරච්චි, කපිල කුමාර කාලිංග, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ පී.බී. ජයසේකර යන නවකතාකරුවන්ගේ කෘති මීට පෙර කෙටි ලැස්තුගතකිරීමේදි තෝරා ගැනෙන අවසන් කෘති පහට තෝරා ගැනී ඇති.

චන්ද්‍රරත්න බණ්ඩාර, සමන් වික්‍රමාරච්චි, නදී වාසලමුදලිආරච්චි, සුමුදු නිරානි සෙනෙවිරත්න සහ එච්.බී. ගුණරත්නගේ කෘති මෙම දිගු ලැයිස්තුගතකිරීමට හෝ එක්වුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම කෘති 12 අතරන් 5ක් අවසන් විනිශ්චය සඳහා තෝරා ගැනීමට නියමිතව ඇති අතර ඉන් ප්‍රථම ස්ථානය ලබන කෘතියට ස්වර්ණ පුස්තක සම්මානය හා රුපියල් ලක්ෂ 5ක මුදල් ත්‍යාගයක් හිමිවෙයි. අවසාන වටයට තේරේන කෘති පහටම රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ.

මෙම සාහිත්‍ය සම්මාන උළෙල ඇරඹුණේ 2007 වසරේ දී ය. මෙවර පැවැත්වෙන්නේ දසවැනි සම්මාන උළෙලයි.

සෑම වසරකම මෙම කෘති නම් කිරීමේදී සහ ඉන්පසුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ උණුසුම් තත්වයක් ඇති වන අතර මේ වන විට මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වල මත පළ කිරීම ඇරඹී ඇත.  2015 වසරේ නවකතා කෘති පළ කළ ලේඛයන් අතර ම කලක පටන් නවකතා කෘති ගැන අදහස් පළකිරීම් මෙන්ම වාද විවාද පවා ඇතිවී තිබුණි.

 

Related posts

Comments are closed.

Top