‘හමුදා දඩයමට’ කාර්යාලයක් පිහිටුවා ඇති බවට මහින්දගෙන් ප්‍රහාරයක්

timthumb

අතුරුදහන්වූවන් සෙවීම සදහා රජය විසින්  පිහිටුවීමට යන කාර්යාලය ආරක්ෂක හමුදා දඩයම් කිරීමට සැලසුම් කරන ලද්දක්  බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එය පසුගිය වසරේ සැප්තැම්බර් මස ආණ්ඩුව බටහිර බලවතුන් සමග එකතු වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ ‘යටගියාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට’ පිහිටුවීමට එකඟ වූ ආයතනවලින් එකක් බවයි.

ආණ්ඩුව ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය’ නමින් හැඳින්වෙන ආයතනයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ‘රටේ සියලුම දේශපාලන හා ආර්ථික ව්‍යාකූලතා මධ්‍යයේ’ බව එහි  සදහන්ව තිබේ.

යුද අපරාධ විමර්ශනය

ඒ අනුව පෙනී යන්නේ මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලය  ‘යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකඟ වී තිබෙන යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ එක් කොටසක්’ බව සදහන් කරන හිටපු ජනාධිපතිවරයා  එම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්, ජාතියත්, සන්නද්ධ හමුදාවනුත්, පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවයි.

අතුරුදහන් හා සොයාගත නොහැකි පුද්ගලයන් සොයාගැනීම මුල් කොටගත් කාර්යභාරයක් ඉටු කිරීම සඳහා අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් (OMP) පිහිටුවීම සඳහා අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුනේ මැයි මාසයේය.

today-04

යෝජිත අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත් කෙටුම්පතෙහි ආරක්ෂක හමුදා දඩයම් කිරීමට සම්පාදනය කර ඇති වගන්ති ගණනාවක්ම තිබෙන බව සදහන් කරන ඔහු නිදර්ශන දහයක් ඉදිරිපත් කර තිබෙන අතර එහි පළමුවැන්න ලෙස   පෙන්වා දී ඇත්තේ  ‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් නොවන අතර  පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය   නීතිරීති වලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබේ’ යන්නයි.

‘එය “කාර්යාලයක්”ලෙසට හැඳින්වුව ද එය සැබවින්ම විමර්ශන සභාවකි. මෙම අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සාක්ෂිකරුවන් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, කැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, විභාග පැවැත්වීමටත් බලය ඇත.මෙම ආයතනයේ නිළධාරීන්ට වරෙන්තුවක් නොමැතිව වුවද, රෑ දවල් ඕනෑම වෙලාවක පූර්ව දැනුම්දීමකින් තොරව ඕනෑම පොලිස් ස්ථානයකට, බන්ධනාගාරයකට හෝ ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුළුවීමටත්, විමර්ශනය කිරීම සඳහා ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තම සන්තකයට ගැනීමටත් බලය ඇත. මෙකී කාර්යාලයට සහයෝගය නොදක්වන ඕනෑම අයකුට උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඩුවම් කළ හැක’ යනුවෙන් එම නිවේදනයේ සදහන්ව තිබේ.

බටහිර මුදල්

‘පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පනත් කෙටුම්පතට අනුව අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන් හත් දෙනාට විමර්ශන පැවැත්වීම පිළිබඳ අත්දැකීම් මෙන්ම මානව අයිතීන් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබදව දැනුමක්ද තිබිය යුතු බව කියැවේ. මේ අනුව එහි සාමාජිකයන් වීමට සුදුසුකම් ලබන්නේ බටහිර මුදල්වලින් නඩත්තු වන රාජ්‍ය නොවන සංවිධානවල සමාජිකයන් සහ බටහිර අනුගමනය යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණවල සේවය කළ අය පමණි’.

‘පනත් කෙටුම්පතේ 21 වන වගන්තියට අනුව ඕනෑම විදේශීය පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් ඍජුවම අරමුදල් ලබා ගැනීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට බලය පැවරෙන’ බවද එම නිවේදනය මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

‘ආයතනයේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට ඕනෑම විදේශීය පුද්ගලයකු හෝ සංවිධානයක් සමග ගිවිසුම්වලට එළඹීමට හැකි බවද’ එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සාමාජිකයන්ට එම ආයතනය තුළ විවිධ අංශ හා ඒකක පිහිටුවා තමාගේ බලතල එම ඒකකවලට පැවරිය හැක. කාර්යාලයේ සේවකයන් පත් කරන්නේත්, ඔවුන් සේවයෙන් පහ කරන්නේත්, එම ආයතනය විසින්ම පමණි. මේ කාර්යාලයේ සේවකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු බවට කිසිදු වගන්තියක් පනත් කෙටුම්පතේ නැත’.

Disappearance-640

‘මෙම කාර්යාලයට, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් මෙන් ම වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් වුවද පැමිණිළි බාරගත හැක’.

‘ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ ඇතුළු සියලුම ආණ්ඩුවේ ආයතන මෙකී අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට බැඳී සිටින අතර රාජ්‍ය  රහස් පනතේ විධි විධාන ද එහිදී බල රහිත වේ’.

‘අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතේ 12(ඇ)iii වගන්තියට අනුව සාක්ෂි ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් වුවද ඕනෑම ප්‍රකාශයක් හෝ භාණ්ඩයක් සාක්ෂි” ලෙසට පිළිගැනීමට මෙම කාර්යාලයට බලය පැවරේ’.

තොරතුරු දැන ගැනීමේ පනත

‘මෙම කාර්යාලයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත බල රහිත වේ. මෙකී කාර්යාලයේ නිළධාරියකුට ලැබුණු රහස් තොරතුරු ගැන කරුණු විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුළුව මොනම  උසාවියකටවත් බලයක් නැත’ යනුවෙන් එහි වැඩි දුරටත් සදහන්ව තිබේ.

ජී ඇල්

කෙසේ වෙතත්, මහින්ද පිලේ ප්‍රමුඛ නීති විශාරද ජී ඇල් පීරිස් මහාචාර්යවරයා  OMP කාර්යාලයට අදාල නීතිය ‘ඉතාමත්ම භයානක’ එකක් ලෙස හඳුන්වමින් මීට ඉහත පවසා තිබුනේ ඒ පිළිබඳ පනත් කෙටුම්පතින් ‘සත්‍යය හෙළි නොවන’ බවයි.

රජය විසින් ස්ථාපිත කර ඇති අතුරුදහන් වූවන් වෙනුවෙන් වන කාර්යාලය (OMP) පීඩිතයන්ගේ අදහස් සැලකිල්ලට නොගෙන පිහිටුවනු ලබන්නක් ලෙසින් මානව හිමිකම් ක්‍රියාධාරීන් ගේ විවේචන හමුවේ දැනටමත් මතබේද වලට මුහුණ පා සිටී.

යුද්ධාවසානයේ භාර වූ එල්ටීටීඊ කැරලිකරුවන් ඇතුලු දස දහස් ගණනක් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඥාතීන් ගේ සාක්ෂි පදනම් කොටගෙන එක්සත් ජාතීන් ප්‍රමුඛ දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වලත් චෝදනාවලින් සාතිශය බහුතරයක් එල්ල වී ඇත්තේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් රජයේ ආරක්ෂක සේනා වෙතය.

Related posts

Comments are closed.

Top