මහින්දගේ පා ගමනට හරස් නොවන ලෙස කැෆේ ඉල්ලයි

 mahinda-hyde-park-640x360

මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් පොලීසිය උසාවි නියෝගයක් ලබා ගෙන  තිබෙන අතර  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය විසින් හෙට දිනයෙන් ඇරඹීමට සංවිධානය කර තිබෙන පා ගමනට බාධා පැමිණවීමෙන් වලකින ලෙසත්, සංවිධානාත්මක ලෙස බලය පෙන්වීමෙන් වළකින ලෙසත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ‘යහපාලන රජයේ ප්‍ර‍ධාන හවුල්කාර පක්ෂ’ වෙතින් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින්  සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය  පවසන්නේ ‘ඒකාබද්ධ විපක්ෂය’ විසින් ජුලි 28 බ්‍රහස්පතින්දා  මහනුවර සිට කොළඹ දක්වා යෝජිත ව්‍යවස්ථාවට විරෝධය පෑම මුලික කොට  පා ගමන් කිරීමට  නියමිත මාර්ගයේ ස්ථාන කිහිපයකම වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් විසින්  විවිධ කටයුතු හදිසියේ සංවිධානය කොට ඇති බවයි.

මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල විසින්  අද තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය ද  තම සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝග කර තිබේ.

784d235d-0e85-45e5-9a00-3e2eb845ec86

පාගමන මාවනැල්ල නගර සීමාව හරහා යාමත් ඊට සමාන්තරව එක්සත් ජාතික පක්ෂය විසින් දේශපාලන රැස්වීම් පැවැත්වීමත් තහනම් කිරීමට මාවනැල්ල පොලිසියද අධිකරණයේ සහාය පතා තිබේ.

සිය  පාක්ෂිකයන්ට මහනුවර, මාවනැල්ල සහ නිට්ටඹුව යන ස්ථාන වෙත එක් රැස්වන ලෙස ද වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් විසින් ඉල්ලීම් කර ඇති බව පවසන කැෆේ සංවිධානය අවධාරණය කරන්නේ  යම් කණ්ඩායම් විරෝධතා පාගමනක නිරත වන අවස්ථාවේ දී එයට බාධා එල්ල කිරීම ගැටුම් ඇතිවීම සදහා හේතුවක් වනු ඇති බවයි.

පසුගිය පාලන සමයේ දී දේශපාලන ක්‍රියකාරීන් පමණක් නොව සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්  ද සාමකාමී උද්ඝෝෂණයක් හෝ පැවැත්වීමට නොහැකිව පීඩාවකට ලක් වු බව පෙන්වා දෙන  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සදහන් කරන්නේ  සාමකාමී විරෝධතාවයක් සඳහා වන අවස්ථාව අහිමි කිරීම, කඩාකප්පල් කිරීම ශිෂ්ට ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජ ව්‍යවහාරයක් නොවන බවයි.

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජයක දේශපාලන මතවාද දැරීමට මෙන්ම ඒ සඳහා ජනතාව ගොනු කිරීම සදහා ද අයිතිවාසිකමක් පුරවැසියන්ට ඇති බව ඔහු වැඩි දුරටත් එම නිවේදනය පවසයි.

Related posts

Comments are closed.

Top