‘‘ බොහෝ දෙනා නිහඬව සිටින්නේ සම්මානයක් කඩාගැනීමේ ජාගර ආශාවෙන් ’’ -හෙන්රි වර්ණකුලසූරිය කියයි.

 

 

hw2

“තිරිසන් රාත්‍රිය”, “සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල”, “නගරාන්තර ප්‍රේමය” සහ “නෙත්මා දකිනු පිණිසය” යනුවෙන් කෙටිකතා කෘති හතරක් සහෘදයන් වෙත තිලිණ කළ ප්‍රවීන සාහිත්‍යකරුවකු වන හෙන්රි වර්ණකුලසූරියගේ පස්වැනි කෙටිකතා කෘතිය “නිරුවත් ජීවිත” නමින් මෙම අගෝස්තු 4වැනිදා එළිදකී.

ඒ සමඟම ඔහුගේ “විල්ලරවාඩිය” හා “දඩ කඳවුර” නම් ඈඳුතු නවකතා පි‍ළිබඳ සාහිත්‍ය කතිකාවතක්ද පැවැත්වේ.  අගෝස්තු 4 වැනිදා සවස 3.30ට කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන මෙම සාහිත්‍ය කතිකාවට සාහිත්‍ය ලැදි සියල්ලන්ටම ඇරියුම් කෙරේ.

මේ ” ගගන” හෙන්රි වර්ණකුලසූරිය සාහිත්‍යකරුවා සමඟ කළ සංවාදයකි.

 

90 දශකය ඇරඹෙන්න පෙර සිටම කවි ලියපු පරම්පරාවෙ කවියෙක් ඔබ. ඔබ ඔබේ කවිය ගැනම ස්වයං විවේචනයක් කර ගනිමින් කියනවා ඔබ ප්‍රමුඛ මාධ්‍ය විදිහට හඳුනගන්නෙ කෙටි කතාව කියලා. නමුත් ඔබ සක්‍රීයව කවි ලියපු කෙනෙක් හින්දා අපි එතනින්ම පටන් ගත්තොත්, ඔබ ඔබේ කවිය ගැන තෘප්තිමත්ද?

මා 80 දශකයේ සිටම කවි ලියන්න  උත්සහ කළා තමයි. ඒවා පුවත්පත් වලත් පළවුණා තමයි. රණතුංග මල්ලවාරච්චි හා ලීවර් තිරාණගමගේ සමඟ එක්ව “මාරුතය” නමින් කවි පොතක්ද එළි දැක්වූවා තමයි.

ඒත් මා පසුකාලීනව තේරුම් ගත්තා කිසියම් ආකාරයක කවිකමක් මා තුළ ඇතත් අන් ප්‍රතිභාපූර්ණ කවීන් හා සැසඳීමේදී මා චූල කවියෙකු බවයි. නැතහොත් කවියෙකු වීම දක්වා වූ ශික්ෂණයක් මෙන්ම ප්‍රතිභාවක්ද මා වෙත නොමැති බවයි.

මා මින් අදහස් කරන්නේ අදද කවි ලියුවත් මගේ මාධ්‍යය කවිය නොවන බවයි.

 

නූතන කවිය සහ කවීන් ගැන ඔබේ අදහස මොකද්ද?

නූතනයේ කවිය විවිධ සීමා මායිම් අතික්‍රමණය කරමින් ඉදිරියට ඇවිත් තියෙනවා. එසේම කවිය සඳහා යොදාගන්නා අනුභූතීන් හි වපසරිය පුළුල් වී තිබෙනවා.

ඇත්තෙන්ම නූතන කවිය හරිම පොහොසත්. ඒත් ඒ කවිය හා එහි ප්‍රබල බව වටහාගත් කිහිප දෙනෙක් නිසා. කියන්න කණගාටුයි. කවි ලිවීම ඉතා සරල, ක්ෂණික වැඩක් ලෙස බොහෝ දෙනෙකු සිතන බව නම් පෙනෙනවා. නමුත් ඒ අය කවි ලියනවා කියුවට ඒවා කවි නොව පල් හෑලි. වාක්‍ය ඛණ්ඩ.

විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ ජාලවල නිරන්තරයෙන් ලියන වාක්‍ය ඛණ්ඩ කවි ලෙස අර්ථ ගැන්වීම කවියට මෙන්ම කවි ලියන අයටත් කරන අපහාසයක්.

 

Niruwath Jeewithaඔබ කෙටිකතා කරුවෙක් ලෙස නමක් දිනාගෙන තියෙනවා. ඔබේ කෙටිකතා දිවියේ ආවර්ජනයන් මොනවද?

මා කෙටිකතාවට පෙම් බැන්දේත්, කෙටිකතා ලියන්න උත්සහ කළේත් කවි ලියන්න පටන්ගත් කාලයේදීමයි.

පුවත්පතක පළවූ මගේ මුල්ම කෙටිකතාව “තාතා වෙතටයි” නමින් “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ පළවුණා. එය මට මතක විදිහට මා කියැවූ ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතාවක එන සිද්ධියක් තමයි මා අතින් යළි ප්‍රතිනිර්මාණය වූයේ.

ඉන් අනතුරුව මා අතින් සිය ගණනක් කෙටිකතා ලියැවී තිබෙනවා. ඉන් බොහෝ කතා කවරදාවත් ප්‍රසිද්ධ මාධ්‍යයන්හි පළ වී නැහැ. ඊට හේතුව මා ඒ කෙටිකතා ගැන තෘප්තිමත් නොවීමයි.

පේදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස මා ලද අත්දැකීම් අනුසාරයෙන් ලියැවුණ, පුවත්පත්වල පළවුණ කෙටිකතා කිහිපයක් එක් කොට “තිරිසන් රාත්‍රිය” නමින් ‍මගේ පළමු කෙටිකතා පොත නිකුත් වුණේ ලියන්නට පටන් ගෙන වසර 15 ට පමණ පසුවයි.

ඉන් අනතුරුව අභිනවයෙන් එළිදකින මගේ  පස්වන කෙටිකතා සංග්‍රහය වන “නිරුවත් ජීවිත” දක්වා වූ වසර 20ක කාලය තුළ “සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මඟුල”, “නගරාන්තර ප්‍රේමය”, “නෙත්මා දකිනු පිණිසය” යන කෙටිකතා පොත් පළ කොට තිබෙනවා.

 

ඔබ කෙටිකතාව කියලා හඳුන ගන්න කලා මාධ්‍ය ගැන ඔබේ නිර්වචනය මොකද්ද?

කෙටිකතා මාධ්‍යය අන් කතා මාධ්‍ය අතර කිසියම් සුවිශේෂී බවක් දක්වනවා. වැල්වටාරම් වලින් තොර සංක්ෂිප්ත බවකින්  යුතු කෙටිකතාවේ අනවශ්‍ය වාක්‍යයක් නොව වචනයක්වත් තිබිය යුතු නැතැයි මා සිතනවා. එය හරියට කෙටි චිත්‍රපටයක එක් අනවශ්‍ය රූපරාමුවක්වත් නොතිබිය යුතුවා වගේමයි.

කෙටිකතාවක් යනු තවත් එක් කතාන්දරයකට වඩා ලේඛකයාගේ පරිකල්පනයෙන් නිර්මිත, කිසියම් සිද්ධියක් හෝ නිමේෂයක් පාදක කොටගෙන රචනා විය යුත්තක්. එය අපුර්වත්වයකින් යුතු වීමයි වැදගත්.

 

ලංකාව ඇතුළෙ කෙටිකතාවට ඇත්තේ කවර අවකාශයක්ද?

ලංකාව ඇතුළෙ කෙටිකතාවට එතරම් පිළිගැනීමක් ඇතැයි මා සිතන්නේ නැහැ. සිය ප්‍රකාශන මාධ්‍යය කෙටිකතාව බවට පත් කොටගත් නිර්මාණශිල්පීන් අතලොස්සක් නොකඩවා කෙටිකතාකරණයේ නියැලෙන නිසා තමයි මේ තරමින්වත් කෙටිකතාව පවතින්නේ.

කෙටිකතා පොතක් තම පොත් රාක්කයේ තබා ගැනීම පවා කරදරයක් කොට සලකන වෙළෙන්දන් ඉන්නවා. අනෙක අතීතයේ විශේෂයෙන් සති අන්ත පුවත්පත්හි කෙටිකතාවට වෙන් කළ ඉඩ කෙමෙන් කෙමෙන් වෙනත් ඕපාදූප පළ කිරීම සඳහා යොදා ගැනෙනවා.

මේ හැමෙකකින්ම පෙනෙන්නේ කෙටිකතාව පිළිබඳ අවධානය ගිලිහෙමින් පවතින බවයි. ඒත් කෙටිකතා පොත් මිලදී ගැනීම සඳහා කිසියම් නිශ්චිත පාඨක පිරිසක් ඉන්න බවත් කිව යුතුයි. මා එසේ පවසන්නේ මගේ පුද්ගලික අත්දැකීම් අනුසාරයෙන්.

මේ දක්වා මා පළකළ කෙටිකතා පොත් මුළුමනින්ම විකිණී අවසන්ව තිබෙනවා.

 

ඔබේ පරම්පරාව නියෝජනය කරමින් කෙටිකතාකරණය පිවිස එහි ප්‍රගමනයට දායක වුණු නිර්මාණකරුවො කවුද? ඔවුන්ගෙ අනන්‍යතා මොනවද?

කපිල කුමාර කාලිංග හා කමල් පෙරේරා කියන්නෙ මගේ පරම්පරාවට මදක් ඉදිරියෙන් නිර්මාණකරණයේ යෙදුණ අපට ආස්වාදය ලබාදුන් කෙටිකතාකරුවන්. ඒ සමඟම කෙටිකතාකරණයට පිවිසි කීර්ති වැලිසරගේ, ආරියවංශ අබේසේකර, පියල් කාරියවසම් වැනි කෙටිකතාකරුවන් එහි සීමා මායිම් අතික්‍රමණය කරමින්, එහි ප්‍රගමනයට  දායක වෙමින් සිය අනන්‍යතාව ගොඩනගා ගෙන සිටිනවා.

 

ඔබ නිතර කරන මැදිහත්විමක් තමයි නිවැරැදි ව්‍යාකරණයක් සහ අක්ෂර වින්‍යාසයක් ලේඛනයේදී භාවිතා කළ යුතු බව. නමුත් ඇතැම් තරුණයින් මීට එරෙහිව පශ්චාත් නූතන ප්‍රවාද ගෙනහැර දක්වනවා. ලේඛකයකුගේ භාෂා භාවිතය ගැන ඔබේ ස්ථාවරය මොකද්ද?

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්නා කවර භාෂාවක් කෙරෙහි වුවත් ගරුත්වයක් ලේඛකයෙකුට තිබිය යුතුයි. භාෂාව නිවැරැදිව හසුරුවන්නට උනන්දු නොවෙනවා කියන්නේ තමන්ගේ ලේඛනය හෝ නිර්මාණය ගැන වගකීමක් නොදරන්නෙක් ලෙසයි මා තේරුම් ගන්නේ. එවන් ලිවීම් මා එතරම් බරපතළ විදිහට අවධානයට ගන්නේ නැහැ. එවන් ලේඛකයන් ගැනද මා එතරම් වටිනාකමකින් සිතන්නේ නැහැ.

මමත් භාෂාව හා එහි නිරවද්‍යතාව තවමත් උගෙන ගනිමින් සිටින්නේ. ඒත් හැකි තරම් නිවැරැදිව ලියන්නට උත්සහ ගන්නවා. භාෂාව නොදැනීම හෝ ඒ ගැන උන්නදු නොවීම කෙනෙකුට තමන් රිසිසේ ලියන්නට බලපත්‍රයක් වෙන්නේ නැහැ. නිවැරැදි ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ගැන ප්‍රති අදහස් දක්වන්නේම භාෂාව නොදන්නා අයයි. ඒ තර්ක ගෙනෙනනේ තමන්ගේ ගැලවිජ්ජාවටයි.

බොහෝ අය ඉංග්‍රීසි වැනි භාෂාවක එක අක්ෂරයක් වැරදුණොත්, එක් ව්‍යාකරණයක් වැරදුණොත් උඩපනින පැනිල්ල මා කොතෙකුත් දැක තිබෙනවා. ‍

මෙවන් සංවාදයකදී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඉංජිනේරු විද්‍යාවට අදාළ මහාචාර්යවරයෙකු දක්වා තිබුණේ ප්‍රංශ භාෂාව වැරැද්දුවොත් යන්නට වෙන්නේ ගිලටීනයට බවයි.

 

ඔබ කවියේ සිට කෙටිකතාවටත්, ඉන් නොනැවතී නවකතාකරණයටත් පිවිසුණා. ඔබ හිතනවද ඔබේ නවකතා සමාජයේ කියවීමට ලක්වුණා කියලා?

මගේ මුල්ම නවකතාව 1999 දී නිකුත් වූ “ඝාතනයට පෙර” යි. ඉන් අනතුරුව “විල්ලරවාඩිය” ත් “දඩ කඳවුර”ත් රචනා වෙන්නේ පිළිවෙළින් 2014 හා 2015 වසරවලදී.

“ඝාතනයට පෙර” පළ වූයේ ග්‍රන්ථ සංවර්ධන ව්‍යාපෘතියක ආධාර යටතේයි. ඒ නවකතාව සමාජගත වූයේ බොහොම සෙමින්. ඒත් එහි තෙවන මුද්‍රණයත් අවසන් වෙමින් තිබෙනවා.

“විල්ලරවාඩිය” මා සෑහීමකට පත්වන ආකාරයේ කියැවීමකට බඳුන් වුණා. කිසියම් කෘතියක් සමාජයේ කියැවීමකට ලක් වුණාදැයි දැනගන්නට නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒත් අලෙවියේ සීඝ්‍රතාවත්, විචාරයනට බඳුන් වීමත් කියන සාධක ඒ සඳහා නිර්ණායක ලෙස සලකන්නේ නම් “විල්ලරවාඩිය”ට ලැබුණ ප්‍රතිචාර යහපත් බව කිව යුතුයි. එය නිකුත් වූ දවස්වල නුගේගොඩ “සරසවි” පොත් හලේ වැඩියෙන්ම අලෙවි වන පොත් 10 (Top 10) අතර රැඳී තිබුණා. සැලකිය යුතු විචාර ගණනාවක්ද පළ වුණා.

 

Printවිල්ලරවාඩිය,දඩ කඳවුරෙන් පස්සෙ ඔබ තුන් ඈඳුතු නවකතාවලියේ මීළඟ පියවරට ඇවිත් තියෙනවා. මොකද්ද එහි නම? එමෙන්ම අන්තර්ගතය?

මගේ මුල් උත්සහය වුණේ ඈඳුතු නවකතාවක් ලියන්නට නොවෙයි. මගේ අපේක්ෂාව වූයේ 1948 ලැබුවා යැයි අපට පාසලේදී උගන්නවන, සෑම ආංඩුවක්ම මහත් උත්සවශ්‍රීයෙන් සමරණ ව්‍යාජ නිදහසේ සිට අපේ ජීවිත කාලයේදී සක්‍රීයව අත්විඳි 88-89 තරුණ නැගිටීම හා සංහාරය දක්වා වන කාලපරිච්ඡේදය පාදක කොට ගෙන නවකතාවක් රචනා කිරීමටයි.

එහෙත් පොතේ පිටු වැඩි වෙද්දී ප්‍රකාශක තමයි යෝජනා කළේ පාඨකයාට එක වර දරාගන්න හැකි වන විදිහට කොටස් වලට වෙන් කරන්න කියා. ඒ අනුවයි 50-60 දශක “විල්ලරවාඩිය” නවකතාවෙනුත්, 70 දශකය “දඩ කඳවුර” නවකතාවෙනුත් ආවරණය කළේ.

අපේ ජීවිත හා වඩාත් සජීවීව බද්ධ වුණ 80 දශකය තුන්වන කොටස වන “ශාපලත් දේශය” නවකතාවට තේමා වෙනවා. විශේෂයෙන්ම කම්කරු පංතියේ කොඳු කඩා දැමූ 80  ජූලි වැජවර්ජනයත්, විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් ධර්මිෂ්ඨ  ලේබලය යටතේ ලාංකික ජනසමාජය වළපල්ලට දක්කන්නට කටයුතු කළ කෲර පාලනයන් යටතේ උතුර මෙන්ම දකුණත් ලේ ගංගාවන්ගේ ගිල්වීමත්, තරුණ සංහාරයත් ලංකා දේශය ශාපලත් දේශයක් බවට පත් කිරීමේ බලලෝභී, අවස්ථාවාදී දේශපාලනයේ සාක්ෂි මීට පාදක වෙනවා.

 

ලංකාවේ සම්මාන ක්‍රියාවලි විවේචනයට ලක්කරමින් ඔබ නිතර ආන්දෝලනාත්මක දේවල් ප්‍රකාශ කරනවා. මොකද්ද ඔබ අපට කියන්න යන අන්දෝලනාත්මක කතාව?

ලංකාවේ සම්මාන ක්‍රියාවලි එහැම පිටින්ම පක්ෂග්‍රාහී මෙන්ම අවස්ථාවාදී වෙන ආකාරය අත්දැකීමෙන් දැක තිබෙන කෙනෙක් විදිහට මා ප්‍රකාශ කරන්නේ සත්‍යයයි. මේ සත්‍යය දන්නා බොහෝ දෙනා නිහඬව සිටින්නේ කවදා හෝ සම්මානයක් කඩාගැනීමේ ජාගර ආශාවෙනුයි.

මොන කරුමෙකටද මංදා මට නැත්තෙත් ඔය සම්මාන උණමයි.

ඒ නිසා බොහොමයක් සම්මාන දෙන්නේ සංවිධායකයන්ගේ මෙන්ම විනිශ්චය මණ්ඩලයේ පෞද්ගලික ඕනෑ එපාකම් මත බව කියන්න මා කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ.

උදාහරණ නම් බොහොමයි. ආසන්නතම උදාහරණය තමයි පසුගිය ස්වර්ණ පුස්තක සම්මානය දිනූ නවකතාව ගැන සම්මාන විනිශ්චය මණ්ඩලයේම සිටි ප්‍රවීන කලාකරු ධර්මසේන පතිරාජ මාධ්‍යයට කිව්ව දේ.

ඒ පොත විනිශ්චයේ මුල් පොත් 5 අතරටවත් එන්න සුදුසු නැති  බවත්.  විනිශ්චය මණ්ඩලයේ වැඩි දෙනෙක් ප්‍රතික්ෂේප කළත් අවසානයේ ඊට සම්මාන ලැබුණ බවත්, හාමුදුරුවරුයි, උපාසක අම්මලයි පොත් විනිශ්චය කරන්න ගියාම ඔහොම වෙන බවත් එතුමා වැඩිදුරටත් කියල තියෙනව.

සම්මාන ගැන තවත් මොන කතාද?

සංවාදය – වී. නිමේෂ්

 

Related posts

Comments are closed.

Top