ව්‍යවස්ථාව හා මානව හිමිකම් ගැන කාදිනල් රංජිත්ට කතෝලික සභාවෙන් ප්‍රහාරයක්

Malcolm-Ranjith-Asgiri

අනාගමික  සහ මානව හිමිකම් රකින රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදිනල්වරයා පලකරන විරෝධය දිවයිනේ උතුරේත් දකුණේත් මුල් පෙලේ කතෝලික පිරිසකගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

ව්‍යවස්ථාවේ බුද්ධාගමට ‘හිමිවිය යුතු ස්ථානය’ රැක දීම වෙනුවෙන් ද, මානව හිමිකම් ‘බටහිර අදහසක්’ සේ ප්‍රතික්ෂේප කරමින්ද කාදිනල්වරයා විසින් බෞද්ධ උත්සවයකදී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය හෙලා දකිමින් සියයකට ආසන්න කතෝලික ගිහි පැවිදි පිරිසක් 3 බදාදා නිවේදනයක් නිකුත් කොට ඇත.

නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම සඳහා දැරෙන උත්සාහය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධ බලවේගවල විරෝධයට මේ වනවිටත් ලක් වී ඇත්තේ බුද්ධාගමට වර්තමාන ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රමුඛස්තානයත්, රටේ ඒකීය භාවයත් අනතුරේ හෙලන්නක් ලෙසිනි.

බටහිරට රට යටකිරීම

“ආගම ව්‍යවස්ථානුකුලව පැත්තකට කිරීම සුදුසු දෙයක් නොවෙයි. ඒ අනුව බුද්ධාගමට හිමිවිය යුතු ස්ථානය අපි ලබා දිය යුතුයි,” යනුවෙන් කාදිනල් රංජිත් හිමිපාණන් 25 සඳුදා ප්‍රකාශ කොට සිටියේ අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ  මහානායක වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් පිළිගැනිම වෙනුවෙන් කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු උත්සවයකට එක්වෙමිනි.

මානව හිමිකම් පිලිබඳ සංකල්පය බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ‘යටකරන්නට’ සහ ‘පැත්තකට දාන්න’ දරන උත්සාහයක් ලෙසින් ද කාදිනල්වරයාගේ හෙලා දැකීමට ලක්විය.

“ඒ නිසා බටහිර රටවල් වලට් ඕනෑ විදියට මානව හිමිකම් මෙහාට ගෙනත් අපිට කවන්නට දෙන්නත් අපිට ඉඩකඩක් නෑ,” යි උන්වහන්සේ පවසා තිබුනි.

එම ප්‍රකාශ හෙලා දකින කතෝලික ගිහි පැවිදි නිවේදනය සඳහන් කොට තිබුනේ කොළඹ අගරද ගුරු ද වන මැල්කම් රංජිත් හිමියන් දිවයිනේ අනිකුත් රදගුරු වරුන් එකොලොස් දෙනා හෝ ප්‍රාදේශීය සාමයික සභා හෝ නොවිමසා කරන ලද එම ප්‍රකාශ ‘කොළඹ කතෝලිකයන්ගේ මතය හෝ නියෝජනය නොකරන’ පුද්ගලික මතයක් ලෙසිනි.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව මානව හිමිකම් තහවුරු කරන, ජනතාවගේ වෙනස්කම් පදනම් කොටගෙන අගතියට පත් නොකරන එකක් සේ සංශෝධනය විය යුතු බවට කතෝලික රදගුරු සම්මේලනය 2013 දී ප්‍රකාශයට පත්කළ එඬේරික අනුශාසනා පත්‍රයද නිවේදනය මගින් කාදිනල් වරයාට සිහිපත් කර දී තිබේ.

“ජනතාවට එරෙහි විවිධාකාරයේ වෙනස්කම් කිරීම් සාධාරණිකරණය කරනාකාරයෙන් අර්ථකථනය කළ හැකි හෝ කියැවිය හැකි නම්, ව්‍යවස්ථාවේ අඩංගු වගන්ති හෝ කොන්දේසි සියල්ල ශ්‍රී ලංකාව අතහැර දැමිය යුතුය යන්න අපගේ දැඩි විශ්වාසයයි,” යනුවෙන් සඳහන් වන අනුශාසනා පත්‍රයට ඉහලින්ම අත්සන් තබා ඇත්තේ අද මෙන් එදාත් අගරදගුරු සමුළුවේ සභාපති ධුරය ඉසිලූ මැල්කම් රංජිත් හිමිපාණන්ය.

අධිනීතිඥ ලාල් විජේනායකගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථා සම්පාදනය සඳහා මත විමසූ කමිටුවට කතෝලික රදගුරු සමුළුව වෙනුවෙන් හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් සහ යාපනය දියෝකීසිය වෙනුවෙන් එස් වී බී මංගලරාජාද යෝජනා කොට ඇති සංශෝධන මේ වනවිට පාර්ලිමේන්තුවට භාරදී තිබේ.

 

ජීඑස්පී ප්ලස් ඉල්ලා මහින්ද රාජපක්ෂ පාලන සමයේ යුරෝපයට ගිය සර්වාගමික නියෝජිත පිරිස

ජීඑස්පී ප්ලස් ඉල්ලා මහින්ද රාජපක්ෂ පාලන සමයේ යුරෝපයට ගිය සර්වාගමික නියෝජිත පිරිස

 

 

බෞද්ධ-කතෝලික සහයෝගිතාව

උත්සව සභාව අමතා අස්ගිරි අස්ගිරි පාර්ශවයේ නව වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහනායක හිමියන් ප්‍රකාශ කළේ ‘සිංහල රට ආරක්ෂා කළ භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නොතකා අත්තනෝමතිකව රට පාලනය කිරීමට’ වර්තමාන පාලකයන් සැරසෙන්නේ නම් ඊට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

‘ආගමට හා ජාතියට අනතුරක් වන්නේ නම් බෞද්ධ භික්ෂුන් වහන්සේ ඉදිරියට පැමිණ ඒවා සමනය කිරීමට හා යටපත් කිරීමට’ ඉදිරිපත් වන බවට මහනාහිමියෝ අනතුරු ඇඟවූහ.

“අපි ඔබවහන්සේට කියන්න කැමතියි මේ ප්‍රශ්න වලදී ඔබ වහන්සේලා සමග සහයෝගයෙන් කටයුතු කරන්න සුදානම් බව,” යි වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් හමුවේ මැල්කම් රංජිත් හිමිපාණෝ සහතික වූහ.

එම ප්‍රකාශය සුළුතර ප්‍රජාවන්ට හානිකර එකක් බවටද කතෝලිකයන්ගේ නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

“බෞද්ධයන් සමග එක්ව කටයුතු කිරීමට කාදිනල් වරයා දෙන සහතිකය අපේ ප්‍රසාදයට ලක්සන අතරම, එවැනි සහයෝගිතාවයන් සංඛ්‍යාත්මක සුලුතරයන් ට වෙනස්කම් කිරීමට සහ ඔවුන් පීඩාවට පත් කිරීමට යොදාගන්නට නොව, විශේෂයෙන්ම සංඛ්‍යාත්මක සුලුතරයන් ඇතුළු සැමගේ මානව හිමිකම් නගා සිටුවීමටත් රැක දීමටත් පාවිච්චි කළ යුතු බව අපි තරයේ කියා සිටිමු,” යි එහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා අත් හිටුවන ලද ජීඑස්පී ප්ලස් බදු සහනය නැවත ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ පාලන සමයේ යුරෝපා සංගමයට බලපෑම් කළ ආගමික නායකයන් අතරින් ප්‍රධානියෙකි.

Related posts

Comments are closed.

Top