‘කොලම’ බිහිකළ චින්තන නික්ම යයි

Chinthana Jayasena Passed Away

ශ්‍රී ලංකාවේ පත්තර කලාවේ සුවිශේෂ අනන්‍යතා ප්‍රකට කළ ප්‍රවීනතම පුවත්පත් කලාවේදියකු වන  චින්තන ජයසේන ජීවිතයෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය. මිය යන විට චින්තන හැට අට හැවිරිදි වියේ පසුවිය.

දේශපාලන ප්‍රවේශයක් සහිත පුවත්පත් ගණනාවක සහ සිනමා පත්තර ගණනාවක ප්‍රධාන සංස්කාරක ධූරය දැරූ චින්තන ජයසේන ප්‍රකට සිනමා විචාරකුයකු සේම තීරු ලිපි රචකයෙකි.

තීරුලිපි රචනා කලාව වඩා උත්කර්ෂයට නැංවීම වෙනුවෙන් ‘කොලම’ නමින් තීරු පුවත්පත් ඇරඹීම චින්තන විසින් සිදු කෙරුණු පුරෝගාමි ක්‍රියාවකි.

සරල, ඍජු, විවේචනශීලී ලේඛන ශෛලියක් අනුගමනය කළ ඔහුගේ විවේචනයට හසුවුණු දේශපාලකයන් සේම කලාකරුවන්ද රාශියකි.

එහෙත් උත්ප්‍රාසජනක කතා කීමේ කෙළ පැමිණ සිටි චින්තනගේ සමාගමයට බොහෝ දෙනා ප්‍රිය කළහ.

දේශපාලකයන් වෙනුවෙන් ඍජුවම පෙනී සිටි, ඔවුන් වෙනුවෙන් ලිවීමේ හැකියාව භාවිත කළ පත්තරකාරයකු ලෙසද ඔහු ප්‍රකට ය.

අනුර බණ්ඩාරනායකගේ දේශපාලන ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් 1970 දී ආරම්භකෙරුණු ‘අද’ පුවත්පතට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පළමු පුවත්පත් සාකච්ඡාව සිදුකෙරුණේ ද චින්තන විසිනි.

ඒ අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීමකට ය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස එතෙක් දුරකථනයක් නොතිබුණු අතර පත්තර කාර්යාලයට මහින්ද රාජපක්ෂ විසින් දුරකතනයක් ලබා දී තිබුණි.

 

CJ yoingභීෂණ සමය

රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ  අතුරුදහන් වුවන්ගේ මාපිය දුරු සංවිධානය විසින් ‘භීෂණය රුදුරුය-ජීවිතය සොඳුරුය’ නමින් කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන ලද ප්‍රදර්ශනයේ සමරු කලාපය සැලසුම් කර ගැනීම සඳහා තම කාර්යාලයේ පහසුකම් චින්තන ජයසේන විසින් දෙනු ලැබුයේ බොහෝ ආයතන මුදලට හෝ ඒ කටයුත්ත භාර ගැනීමට මැලි වෙද්දීය.

ඔහුගේ සොයුරු කිත්සිරි මෙවන් ජයසේන එහි පිටු සැලසුම් කළ අතර මුද්‍රණය කෙරුණේ කෙලි සේනානායක ගේ නවමඟ මුද්‍රණාලයේ ය.

ඔහුගේ මඟ පෙන්වීම යටතේ පුවත්පත් කලාවට අවතීර්ණ වූවන් සේම, පුවත්පත් කලාවේ කුසලතා ප්‍රකට කරමින් ප්‍රවීනත්වයට පත්වූ පුවත්පත් කලාවේදීන් රාශියක් සිටිති.

සාහිත්‍යකරුවකු ලෙසද නිර්මාණකරණයෙහි යෙදුණු ඔහු නවකතාව, කෙටිකතාව සහ කවියද සිය ප්‍රකාශන මාධ්‍ය කරගත්තේ ය.

එපමණක් නොව ඔහු ගීත රචනයෙහිද නියැලුනි.

 

වික්ටර්ගේ ‘ස’

වික්ටර් රත්නායකගේ සුප්‍රකට ‘ස’ ප්‍රසංගයට එකී නාමකරණය ලබා දුන්නේ ද චින්තන ජයසේන ය.

තවත් බොහෝ නාමකරණයන්ට මූලික වූ ඔහු, ශ්‍රී ලංකාවට කොන්ඩම් හඳුන්වා දීමේදී ඊට ‘ප්‍රීතී’ ලෙස නම් තැබුවේ ය.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයට 60 වසරක් පිරීම නිමිත්තෙන් ඉකුත් ඔක්තෝබරයේදී ප්‍රවීණ පත්‍රකලාවේදීන් 10 දෙෙනකුට උපහාර පිදුණි. චින්තන ජනසේන ද එකී ජ්‍යෙෂ්ඨයන් දස දෙනා අතරට ඇතුළත් විය.

උපහාර සම්මාන පිදුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතිනි.

Related posts

Comments are closed.

Top