ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය “සුපිරි මුග්ධභාවයක” – මහාචාර්ය රසීන් සලේ

මහාචාර්ය සලේ

මහාචාර්ය සලේ

ශ්‍රී ලංකාවේ අර්ථික ප්‍රතිපත්තිය ‘සුපිරි මුග්ධභාවයක්’ කරා  පිරිහෙමින් පවතින බව සුපිරි ආර්ථික විශේෂඥයකු පවසයි.

මෙසේ පවසන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යනය ආයතනයේ සභාපති,  සිංගප්පූරු ජාතික සරසවියේ මහාචාර්ය රසීන් සලේ විසිනි.

මෙහි වඩාත් සුවිශේෂ කාරණය, ඔහු සෘජුව මෙසේ පැවසුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මුදල් අමාත්‍ය රවී කරුණානයක ඇතුළු ප්‍රධානතම දේශපාලකයන් සහ තවත් ප්‍රධාන ප්‍රභූන් රැසක් සමඟ වේදිකාවේ සිටියදීම වීම ය.

ඒ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවති ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.

77න් පසු

මිල පාලනය විෂයෙහි දැඩි වියවුලක් පවතින බවත්, එය 1977න් පසු ඇතිවුණු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා සමාන්තරව ආර්තික දේහය පුරා පැතිරී ඇති බවත් පැවසූ මහාචාර්යවරයා එය සිද්ධවූ ආකාරය විග්‍රහ කර පෙන්වී ය.

මේ තත්වය මත අනිවාර්යයෙන් ඉතා දුර්වල අයවැයක් නිර්මාණය වන අතර එය මහා බැංකුවේ ආර්ථික ප්‍රතිපත්තිවලට පවා දරුණු ලෙස බලපාන බව අවධාරණය කළේ ය.

මහා බැංකු අධිපති

අලුතින් පත්වීම් ලද මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ පිළිබඳව මනා  අවබෝධයක් ඇති අයකු බවත් මහා බැංකුවේ කාර්යභාරය ආර්ථික ස්ථාවරභාවයකට මඟ පෙන්වීම බවත් විවෘතවම ප්‍රකාශ කළේ , මහා බැංකු අධිපතිවරයා ඔහු අසල වාඩිවී සිටියදීම ය.

පසුව මහා බැංකු අධිපතිවරයාද සභාව ඇමතී ය.

ජනාධිතිවරයා සභාව අමතමින්

ජනාධිතිවරයා සභාව අමතමින්

පසුගිය රජයේ බර

මෙම සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ මෙම ආර්ථික අර්බුදයට පදනම දැමූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමය බවයි. ‘ ‘සුරංගනා කතා මවමින්’ පසුගිය රජය රට ආර්ථික අර්බුදයකට ඇද දැමූ බවත්, එහි ප‍්‍රතිඵල දැන් මහජනතාවට  භුක්ති විඳීමට සිදුව ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.

ශ‍්‍රී ලංකාව රුපියල් මිලියන 9000 ක ණය බරකට කරගසා සිටින බැවින් මහජන නියෝජිතවරයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා මෙම ආර්ථික අර්බුදය තේරුම්ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ ය.

ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය 17 වැනි වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මෙවර තේමාව වූයේ ‘‘අවධානය, ක‍්‍රියාත්මක වීම, ඉටුකිරීම’’යන්න යි.

Related posts

Comments are closed.

Top