හනීෆ් මොහොමඩ් සමුගනී

 

Hanif-Mohammad-Former-Pakistan-Cricketer

පැය දහසයක් පුරා දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රිඩා කළ ‘ලිට්ල් මාස්ටර්’ නම් විරුදාවලිය පළමුවෙන්ම ලත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම පකිස්ථානු පිලේ හිටපු නායකයක්ද වූ හනීෆ් මොහොමඩ් ජිවිතයෙන් සමුගෙන ගොස් ඇත.

ශ්වසන ගැටළුවලින් කලක් පීඩා විඳි ඔහු පසුගිය සතිය මුලදී කරච්චි රෝහලට ඇතුළත් කළ අතර එහිදී මිය යට විට 81හැවිරිදි වියේ පසුවිය.

ඔහු පෙනහලු පිළිකාවකට ගොදුරුව සිටි අතර 2013 වසරේදී ලන්ඩන් නුවරට රැගෙන එන ලදුව ඔහුට ප්‍රතිකාර කෙරුණි.

1957දී බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව පැවති තරගයකදී හනීෆ් මොහොමඩ් පැය 16ක් කඩුල්ලේ රැඳී සිටිමින් වාර්තාගත වෙද්දි ඔහු ලකුණු 337ක් රැස්ක‍ළේය. එය දකුණු ආසියාතික කලාපයේ ක්‍රිඩකයකු කලාපයෙන් බැහැර තරඟයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද තවමත් වාර්තා පොත් අතර නොබිඳී පවතී.

හනීෆ්-සචින්: පකිස්තානු 'ලිට්ල් මාස්ටර්' සහ 'ඉන්දියානු ලිට්ල් මාස්ටර්' හමුවීමක්

හනීෆ්-සචින්: පකිස්තානු ‘ලිට්ල් මාස්ටර්’ සහ ‘ඉන්දියානු ලිට්ල් මාස්ටර්’ හමුවීමක්

ඉන්දියාවේ ජුනාගාද්හි 1934දී උපන් හනීෆ් පකිස්ථානය ඉන්දියාවෙන් වෙනුවුණු පසු සිය පවුලේ සාමාජිකයන් සමඟ කරච්චි නුවර පදිංචි වන විටදී 13 හැවිරිදි වියේ පසුවිය. ඉන් සිව්වසරකට පසු එනම් 1952 ඔක්තෝබර් 16වැනිදා ඔහුගේ කුළුඳුල් ටෙස්ට් තරඟයට සහභාගි වීමට ඔහුට සිදුවූයේ තමන් ඉපදුණු ඉන්දියාවට එරෙහිව ම ය.

වසර 17ක ක්‍රීඩා දිවිය ඔහු 1969 ඔක්තෝබර් 24වැනිදා නවසීලන්තයට එරෙහිව තරඟ කරමින් නිමා කළේ ය. ඒ වන විට ඔහු ටෙස්ට් තරඟ 55කට සහභාගී වී සිටි අතර ශතක 12ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3915ක් රැස්කර තිබුණි.

හනීෆ්ගේ තරඟ විලාශය, පන්දුවට පහරදීමේ තාක්ෂණය නිසා සෙසු ක්‍රිඩකයන්ගේ ක්‍රිඩා විලාශයන්ද ඉහළ එසැවුණු අතර පකිසථානය ටෙස්ට් පිටියේ වැදගත් කණ්ඩායමක් බවට පත්විණි. හනිෆ්ගේ මෙම විශිෂ්ඨ ක්‍රිකට් භාවිතය නිසා ඔහු ‘පකිස්ථනු ක්‍රිකට් පීතෘ’ යැයි විරුදාවලිය පවා ලැබී ය.

පළමු පෙළ ක්‍රිකට් තරඟයකදී පිතිකරුවකු ලද වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 499ක වාර්තාව විශාල කාලයක් රැඳී තිබුණේ ද හනීෆ් අත ය. 1994දී බ්‍රයන් ලාරා ලකුණු 501ක් ලබා එය බිඳ දැමුවද හනීෆ්ගේ එම ඉනිම පළමු පෙළ ක්‍රිකට් පිටයේ විශිෂ්ටතම ඉනිමක් ලෙස සදා මතකයේ පවතී.

හනීෆ්ගේ පුත් ෂොහීබ් මොහොමඩ් පසු කලෙක ඔහු ගිය මඟම යමින් පකිස්තානු ජාතික පිල නියෝජනය කරමින් ක්‍රිඩා කළේ ය.

Comments are closed.

Top